අගමැතිතුමා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් අතර හමුව

ඔක් 16, 2020

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසුණි.

    අරලියගහ මන්දිරයේ ඊයේ සවස පැවති හමුවේදී, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේදී සහයෝගිතාව ඇතිකරගත හැකි ක්‍ෂේත්‍ර සම්බන්ධව සාකච්ජා කෙරිණ.

    හමුවේ මුලික අරමුණ වූයේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා අතර අන්තර් ජාලය ඔස්සේ පැවති සමුළුව පිළිබඳ පසු විපරමක නිරත වීමයි. මහින්ද රාජපක්‍ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු, ද්විපාර්ශ්වික සාකච්ජාවක් ලෙස, අන්තර්ජාලය ඔස්සේ, වීඩියෝ තාක්‍ෂණයෙන් පැවති පළමු සමුළුව පිළිබඳව දෙරටේම නායකයන් අතිශය සතුටට පත්වූ බව, මෙහිදී හෙළි කෙරිණ.

    සැමට සුරක්‍ෂිත පානීය ජලය සැපයීම මෙන්ම සනීපාරක්‍ෂාව, අවධානය යොමු කළ යුතු ප්‍රමුඛ කරුණු කිහිපයක් බව, අග්‍රාමාත්‍යවරයා සාකච්ජාවේදී පෙන්වා දුන්නේය. පාසල්වල ජල අවශ්‍යතා, සනීපාරක්‍ෂක පහසුකම්, වැසි ජලය එක් රැස්කිරීම, දුෂ්කර ජීවන තත්වයන් පවතින ප්‍රදේශවල වැසිකිළි තනාදීම සහ අපද්‍රව්‍ය පොහොර බවට පත් කළ හැකි නව ව්‍යාපෘති ඇතුළු දෙරට අතර සහයෝගයෙන් ක්‍රියාත්මක කළ හැකි ක්‍ෂේත්‍ර කිහිපයක ව්‍යාපෘති පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී අවධානය යොමු කළේය.

    රාජපක්‍ෂ මහතා සාකච්ජාවේදී සඳහන් කළ තවත් කරුණක් වූයේ, නිදන්ගත වකුගඩු රෝග සඳහා පිළියම් යෙදීම ඇතුළු මෙරට ඇතැම් ප්‍රදේශවල පවතින සුරක්‍ෂිත පානීය ජලය නොමැතිකම පිලිබඳව, රජය ප්‍රමුඛ අවධානයක් යොමුකර ඇති බවයි.

    සෑම නිවසකටම පානීය ජලය සැපයීම අරමුණු කරගත් ඉන්දීය රජයේ වැඩපිළිවෙළ වන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ “ජාල් ජීවන් මෙහෙවර-ජීවිතය උදෙසා ජලය“ වැඩසටහන සමඟ දෙරටට සහයෝගයෙන් ක්‍රියා කිරීමේ හැකියාව පවතින බවට, ඉන්දීය මහකොමසාරිස්වරයා විශ්වාසය පළ කළේය.

    ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ පානීය ජල ගැටලුව සාකච්ජාවට බඳුන් වූ තවත් කරුණක්. මෙරට ඖෂධ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ඒ පිළිබඳ සොයා බලා ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා නිෂ්පාදන පහසුකම් ඇති කිරීමට ඉන්දීය ආයෝජකයන් දිරිමත් කරන ලෙස, අග්‍රාමාත්‍යවරයා මේ හමුවේ දී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් ඉල්ලීමක් කළේය.

    Latest News