හිටපු අගමැති අදත්, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

ඔක් 16, 2020

    පොලිස් ආඥා පනත අනුව පොලිස්පතිවරයාට අලුතින් පොලිස් කොට්ඨාශයක් පිහිටුවීමට බලයක් නැත්නම් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවීමේ ගැසට් නිවේදනය ද නීත්‍යානුකූල නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගත්තා.

    දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ වර්තමාන සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා විසින් තමන්ට දේශපාලන පළිගැනීමක් සිදු කළ බවට ජනාධිපති කොමිසමට සිදු කර තිබූ පැමිණිල්ලකට අදාලව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු 21 දෙනෙකුට නොතීසි නිකුත් කර තිබුණා.

    කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සංයුතිය සහ ක්‍රියාකාරිත්වය ඇතුළත් ලේඛනය සකස් කරන ලද්දේ දූෂණ මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ ජේ සී වැලිඅමුණ මහතා විසින් බවයි.

    දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිහිටුවීමට අදාල කැබිනට් පත්‍රිකාව හිටපු අගමැතිවරයාගේ අවධානයට යොමු කරමින් පැමිණිල්ලේ නීතීඥවරයා කියා සිටියේ පොලිස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවෙන් මගපෙන්වීම ලබාදී තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාට බවයි. එහෙත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීමට අදාල ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම් විසින් නොව පොලිස්පතිවරයා විසින් බවයි නීතිඥවරයා සඳහන් කළේ.

    ඊට පිළිතුරු දෙමින් හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේ ඒ බලය තිබෙන්නේ පොලිස්පතිවරයාට බවයි.

    අනතුරුව පැමිණිල්ලේ නීතීඥවරයා හිටපු අගමැතිවරයාට පොලිස් ආඥා පනතේ පනස් පස්වන වගන්තිය උපුටා දක්වමින් නැවතත් ප්‍රකාශ කළේ අදාළ වගන්තිය යටතේ පොලිස්පතිට වෙනත් ඒකකයක් පිහිටුවීමේ බලයක් ලබාදී නොමැති බවයි.

    පනතේ නැති බලයක් යටතේ ක්‍රියා කර ඇති බව කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියා.

    ඊට පිළිතුරු දුන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා "ඒගොල්ලො කියන්නේ පොලිස්පතිවරයාට පොලිස් කොට්ඨාශ පිහිටුවන්න පුළුවන් කියායි. නමුත් අපේ කැබිනට් පත්‍රිකාවේ කොට්ඨාශ පිහිටුවීම ගැන කියලා නැහැ, දූෂණ සම්බන්ධයෙන් ලේකම් කාර්යාලයක් පිහිටුවීම ගැන පමණයි සඳහන් වෙන්නේ"

    කොමිසමේ සභාපති විනිසුරු අවධාරණය කළේ පොලිස්පතිවරයා තමාට නැති බලයක් යටතේ ඒකකයක් පිහිටුවීම සිදු කර ඇති බවයි.

    "ඒක මම දන්නේ නැහැ. මට මතකයි මේගොල්ලො වාර්තා කළා ලේකම්තුමාට මේක කරන්න බලයක් නෑ, පොලිස්පතිතුමාට පමණයි මේක කරන්න බලයක් තිබ්බේ කියලා."යනුවෙන් හිටපු අගමැතිවරයා සඳහන් කළා.

    එවිට සභාපති විනිසුරුවරයා නැවතත් ප්‍රකාශ කළේ පොලිස් ආඥා පනත යටතේ පොලිස් ස්ථානයක් පිහිටුවීමේ බලයක් පොලිස්පතිවරයාට නොමැති බවයි.

    පැමිණිල්ලේ නීතීඥවරයා පෙන්වා දුන්නේ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ පොලිස් ආඥා පනතේ පනස් පස්වන වගන්තිය යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිට වූ බවයි. එහෙත් පනස් පස්වන (55) වගන්තියෙන් එවැනි බලයක් ලබා දී නොමැති බවද නීතිඥවරයා ප්‍රකාශ කළා.

    "බලයක් නැත්නම් නැහැ" යනුවෙන් හිටපු අගමැතිවරයා පිළිතුරු දුන්නා.

    පැමිණිල්ලට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වගඋත්තරකරුවෙකු ලෙස සිතාසි ලැබී නොමැති බවත් මාධ්‍ය වාර්තා මගින් ඒ පිළිබඳව දැනගත් බවත් විපක්ෂනායකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කොමිසමට දැනුම් දුන්නා.

    ඔවුන් සඳහන් කළේ අද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නිකුත් කළ සිතාසියක් සිය සේවාදායකයාට ලැබී නොමැති බවයි.

    සජිත් ප්‍රේමදාස මහතා බන්දුල තිලකසිරි මහතාගේ පැමිණිල්ලට අදාල ලේඛන පිටපත් අවශ්‍ය බව කොමිසමට දැනුම් දුන්නා.

    ලබන 20 වැනිදා විභාගය යළි කැඳවීමට නියමිතයි.

    මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලකට අදාළව ද රනිල් වික්‍රමසිංහ මහතා අද සාක්ෂි ලබා දුන්නා.

    2006 වසරේදී යුක්‍රේනයෙන් මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගණුදෙනුව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනු කිරීම දේශපාලනිකව පලි ගැනීමේ අරමුණින් සිදු කර ඇති බවට උදයංග වීරතුංග මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

    එම නඩුවට අදාළව සිය සේවාදායකයාගේ විදේශ ගමන් බලපත්‍රය අහෝසි කිරීම සම්බන්ධයෙන් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසුවා.

    ඒ සම්බන්ධයෙන් එවකට කැබිනට් මණ්ඩලයේදී සහ පොලිස් නිලධාරින් සමග සාකච්ඡා කර ඇතත් තමා කිසිදු අවස්ථාවක උදයංග වීරතුංගගේ විදේශ ගමන් බලපත්‍රය අහෝසී කිරීමට බලපෑම් කර නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

    ඔහු සඳහන් කළේ යම් පුද්ගලයකු අධිකරණයට වාර්තා නොකරන්නේ නම් විදේශ ගමන් බලපත්‍රය අහෝසි කිරීම සාමාන්‍ය කාරණයක් බවයි.

    මේ වන විට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුර්දීන්ගේ ද විදේශ ගමන් බලපත්‍රය එලෙස අහෝසි කර ඇති බව තමාට දැන ගන්නට ලැබී ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    Latest News