මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 1700 ඉක්මවයි

ඔක් 15, 2020

    (UPDATE)

    කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඉන් ආසාදිතයින් 13 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

    ඒ අනුව දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1,770 කි.

    අද (15) උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 132ක් හඳුනාගෙන ඇතැයි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    එම පුද්ගලයින් අතරින්, පුද්ගලයින් පස් දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයින් 127 දෙනා එම කම්හලේ සේවය කරන පුද්ගලයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද උදෑසන වනවිට ආසාදිතයින් සංඛ්‍යාව 1,723 දෙනෙකි.

    ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර, අනෙක් පුද්ගලයින් 682 එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් බව ද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

     

    මිනුවන්ගොඩ ආසාදිත පොකුර වාර්තා වු අයුරු මෙලෙස පෙන්වා දීමට හැකියි.

     

    පළමු සතිය තුළ ඔක්තෝබර් 5 සිට 11 දක්වා - 1186

    ඔක්තෝබර් 12 වන දින - 121

    ඔක්තෝබර් 13 වන දින - 90

    ඔක්තෝබර් 14 වන දින - 194

    ඔක්තෝබර් 15 වන දින - 132 උදෑසන 6 වනවිට

     

    මේ අතර, අද උදෑසන දෝහාකටාර් සිට පුද්ගලයින් 34 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

    ඔවුන් සියලු දෙනා හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනයට කටයුතු කර ඇත.

    අද දිනය තුළ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 254ක් නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතව තිබේ.

    මේ වනවිට පුද්ගලයින් 52,612ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    එසේම අද වනවිට මධ්‍යස්ථාන 88ක් තුළ පුද්ගලයින් 9,703ක් නිරෝධායනය වෙමින් සිටී.

     

    මේ වනවිට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 348,909කි.

    ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 5,170 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 3,357 ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    රෝගීන් 1,800 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

    මේ අතර අද අලුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

    ඒ අනුව මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 19ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

     

     

    පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ (14) දිනයේ දී අදාළ ඉල්ලීම ලිඛිතව සිදුකර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව, අදාළ ඉල්ලීම පිළිබඳ සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට ඊයේ දිනයේ දීම දැනුම්දුන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

    සියලුම විශ්විද්‍යාලවල උපකුලපතිවරුන් අදාළ ඉල්ලීම සඳහා යහපත් ප්‍රතිචාර පළකර ඇති බව ද ඒ මහතා පැවසීය.

    ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර, ගාල්ල, කොළඹ, යාපනය සහ පේරාදෙණිය වෛද්‍ය පීඨවල පී.සීආර් පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට සැළසුම් කර තිබේ.

    බොහෝදුරට අද දිනයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීසීආර් පරීක්ෂණ කිරීමේ කටයුතු ආරම්භ කිීමට හැකිවනු ඇති බව, ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

     

    මෙරට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අමතර රෝහල් 10 ක් සූදානම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, දැනට රෝහල් 14 ක 2400 ඉක්ම වූ අඳන් සංඛ්‍යාවක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති බවයි.

    ඊට අමතරව දැඩි සත්කාර එක්කවල ඇඳන් 146 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇති බව ද ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත් මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් හමු වූ කිසිදු කොරෝනා ආසාදිතයෙකු මේ දක්වා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර නොමැත.

    බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 3දෙනෙකු ඊයේ(14) දින හඳුනාගෙන ඇත.

    එම බල ප‍්‍රදේශයට අයත් බියන්විල, අලූබෝවිල හා ප‍්‍රදීපගම යන ප‍්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් තිදෙනා හමුවී තිබේ.

    ඉන් දෙදෙනකුම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලූම් ආයතනයේ සේවිකාවන් වන අතර, සෙසු පුද්ගලයා කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරත තැනැත්තෙකු වේ.

    එම ආසාදිතයන් තිදෙනා කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට යවා තිබෙන අතර, එම ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයින් 24කු පමණක් නිරෝධානය සඳහා නිරෝධාන මධ්‍යස්ථාන වලට යවා තවත් 92කු පමණක් තම නිවෙස්වලම ස්වයං නිරෝධානයට යොමු කළ බව වාර්ථා වෙයි.

     

     

    හබරාදුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් හයදෙනකු නිරෝධායනයට ලක්කොට ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද් සිරිවර්ධන පවසයි.

    මෙම එක් පොලිස් නිලධාරියකු නිවාඩු ලබා අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුවකු වන තම මිතුරෙකු සමග සාදයකට සහභාගි වී ඇත.

    එම සිසුවා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ පුහුණු වැඩමුළුවකට සහභාගිවී ඇති බවට අනාවරණය වී තිබේ.

    කොරෝනා ආසාදිතයන් සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් මෙම පොලිස් නිලධාරියා සහ ඔහු ළඟින් අසුරු කළ සෙසු නිලධාරීන් නිරෝධායනයට ලක්කොට ඇති බැව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද් සිරිවර්ධන මහතා පවසයි.

     

     

    අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(15) පෙරවරුවේ කටයුතු කර තිබේ.

    මෙම රෝහලෙන් කොවිඩ් - 19 යැයි සැක සහිත රෝගියෙකු ප්‍රතිකාර ප්‍රතිකාර ගැනීමට පැමිණ ඇති බවට ලද තොරතුරක් මත මෙම පියවර ගෙන ඇත.

    හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේ සිට කොවිඩ් - 19 රෝග ලක්ෂණ සහිත ගැබිනි කාන්තාවක් මේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇත.

    ඇය පි.සි.ආර්. පරීක්ෂණ සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමුකළ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත.

    අදාළ රෝගියාගේ කොරෝනා පරික්ෂාවේ ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

     

    මේ අතර,කොවිඩ් ආසාදිතයින් ගමන් ගත් බස් රථ 06ක් හදුනාගනී

    කොවිඩ් -19 වෛරස ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වනවිට හඳුනාගෙන තිබේ.

    ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කළේය.

    එම බස් රථවල විස්තර පහතින්….

     

    ND 4890 කොළඹ – මැදගම – එක් කොවිඩ් රෝගියෙක්

    ND 2350 මාකුඹුර – ගාල්ල – එක් කොවිඩ් රෝගියෙක්

    ND 549 – අම්බලන්ගොඩ – කඩවත – එක් කොවිඩ් රෝගියෙක්

    ND 9788 – ඇල්පිටිය – කොළඹ – එක් කොවිඩ් රෝගියෙක්

    NF 7515 – ගාල්ල – කඩවත – එක් කොවිඩ් රෝගියෙක්

    6503 – කොළඹ – යාපනය – එක් කොවිඩ් රෝගියෙක්

     

    කටුනායක ප්‍රදේශයට පනවා ඇති ඇඳිරිනීතිය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට කිසිඳු බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

    අද උදෑසන 5.00 වනවිට කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල් 13 තුළ ඉතිරිව ඇත්තේ ඇදන් 170ක් පමණක් බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

    මෙම රෝහල් 13 තුළ ඇදන් ධාරිතාව 1712 ක් වන අතර ඉන් ඇදන් 1542 ක මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    මෙලෙස ප්‍රතිකාර ලබන පිරිසෙන් 127 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණීමෙන් පසු කොරෝනා වෛරසයට ආසාදනය වූ පුද්ගලයින් වන අතර, සෙසු රෝගීන් 1415 දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ රෝගීන් වනවා.

    මේ අතර, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිීම සඳහා උතුර ප්‍රදේශයේ ඇදන් 100 ක ධාරිතාවයකින් යුත් රෝහලක් ඉදිකිරීමට කටයුතු කරන බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ පැවති සාකච්ජාවකදී උපදෙස් ලබාදී තිබුණා.

     

     

    කොළඹ මහ නගර සභාවේ සේවය කරනු ලබන පුද්ගලයෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් බවට සිදුකළ PCR වාර්තාවකින් තහවුරු වී ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

    මෙම සේවකයා කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

     

     

    මේ අතර කළුතර රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

    මෙම හෙද නිලධාරිනිය පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කොට ඇති බවට කරුණු වාර්තා වී ඇත.

    මෙම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් සොයා ඔවුන්ව නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි, සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

    නිරෝධායනය කර සිටි තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලයෙකු රහසිගතව හම්බන්තොට මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුල්වී සිටියදී එම තැනැත්තා කොවිඩ් ආසධිතයෙකු බවට තහවුරුවී තිබේ.

    අදාළ පුද්ගලයා තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පමණ පුද්ගලයෙකු වෙයි.

    ඔහු පසුගිය 12 වැනි දින ස්වයං නොරෝධායනයට ලක්කිරීමෙන් පසු 13 වැනි දින PCR පරීක්ෂණය සඳහා අවශ්‍ය නියදි ද ලබාගෙන සිටි පුද්ගලයෙකු වෙයි.

    උදරයේ අමාරුවක් ඇතිවී ඇති බව පවසමින් 1990 ගිලන් රථයක් මගින් 13වනදා රාත්‍රී හම්බන්තොට මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී අදාළ රෝගියා 18 වැනි වාට්ටුව ඇතුළත්කර තිබේ.

    අදාළ තැනැත්තා ඊයේ (14)දින කොවිඩ් අසදිතයෙකු බවට PCR පරීක්ෂණ මගින්ද තහවුරු වී තිබේ.

    ඔහු පිළිබඳව සෙවීමේදී අදාළ රෝගියා අසත්‍ය තොරතුරු ලබාදෙමින් හම්බන්තොට මහරෝහලට ඇතුළත්වී ඇතිබවට කරුණු අනාවරණය වී ඇත.

     

     

    හැටන් නැෂනල් බැංකුවේ කොළඹ ටි.බී. ජයා මාවාත පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

    ප්‍රධාන කාර්යාලයේ දකුණු ගොඩනැගිල්ලේ 19 වන තට්ටුවේ සේවයේ නියුතු අයෙකු මෙලෙස කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.

    එම කාර්යාලයේ සේවයේ නියුතු සියළු සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනට යොමු කොට ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරිමට පියවර ගෙන ඇත.

    දැනට එම ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන බැංකු ශාඛාව සහ ඩිජිටල් ගණුදෙනු අංශය මහජන සේවාවන් සඳහා විවෘතව ඇති අතර අනෙකුත් මහල් සියල්ල තාවකාලිකව වසා දමා තිබේ.

    සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

     

    රද්දොළුගම, දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වු පිරිසගෙන් 12 දෙනෙකු මේ වන විට කොවිඩ් - 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ පසුගිය 12 වන දින සිදුකරනු ලැබූ බව රද්දොළුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක සුනෙත් රණවීර මහතා පැවසීය.

     

     

    කොවිඩ් - 19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් ගැනිහිමුල්ල, පේරලන්දවත්ත, සහ හැලකන්දන යන ගම්මාන තුන හුදකලා කර තිබේ.

    අද (15) උදෑසන සිට එම ගම්මාන මෙලෙස හුදකලා කර ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගැනීමත් සමග එම ප්‍රදේශ වලින් ඔවුන්ගේ ආශ්‍රිතයින් වැඩිවශයෙන් වාර්තා වී තිබේ.

    ඒ හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන ඇති අතර, ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 500කගේ පීසීආර් පරීක්ෂණ අද දෙවොලපොළ සතිපොළේ දී සිදුකර කරනු ලැබීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 ඔක්තෝබර් 2020 16:36

    Latest News