කොවිඩ් - 19 ආසාදිතයින් 49 දෙනෙක් හඳුනාගැනේ

ඔක් 13, 2020

    තවත් කොවිඩ් ආසාදිතයන් 49දෙනෙකු අද (13) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මේ අතර, මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් සමස්ත ආසාදිතයින් ගණන 1446 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛයාව 4,893 කි.

     

    ඒ අතර, කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි, තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේ දී දිනුකා ගුරුගේ මෙනෙවිය සඳහන් කළාය.

    ඔවුන් සියලුදෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අය වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.

    ඔවුන් සියලුදෙනාම ආශ්‍රිතයින් ලෙස තහවුරුවීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අයයි.

    එමෙන්ම කොළඹ යූනියන් පෙදෙසේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක පදිංචි අයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

    කෙසේවෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු විය.

    අදාළ පුද්ගලයා රැකියාව කළ ස්ථානයේ අයෙකුගේ ඥාතියෙකු මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ආශ්‍රිතයෙකු බවයි, සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

    රත්මලානේ පිහිටි ලංකා බැංකු ශාඛාව මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති බව, එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ කොරෝනා ආසාදිත 07 දෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳ එම ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    Latest News