ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට නොතීසි (වීඩියෝ)

සැප් 17, 2020
  • ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් නිරෝස් හිලියාස් නමැත්තාට මේ මස 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසී නිකුත් කර තිබේ. 

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි,  මෙම නියෝගය අද නිකුත් කෙරිණ. මේ පිළිබඳව විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි, මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ.  මෝසමක් මාර්ගයෙන් මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ දිලීප පිරිස් මහතා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වූ මෙම නෞකාවෙන් කාන්දු වූ ඛනිජ තෙල් මිටර් දෙකක ගණකමකින් සහ මීටර් 400ක පළලකින් යුත් තට්ටුවක් වශයෙන් අදාළ ප්‍රදේශයේ දක්නට තිබෙන බව, සඳහන් කළේය.  

    මෙම තෙල් කාන්දුව  හේතුවෙන් නැව ගිනිගැනීමට ලක්වූ ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 6.5ක් දක්වා ප්‍රදේශයක සාගර ජලය දූෂණයට ලක්ව ඇති බව, මෙතෙක් සිදු කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය  හමුවේ කියා සිටියේය.  මුහුදු ජලයට මිශ්‍ර වී ඇති ඉන්ධනවල දැඩි පෙට්‍රෝලියම් සංඝටක අන්තර්ගතව තිබෙන බව, රජයේ රස පරීක්‍ෂකවරයා නිගමනය කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 සැප්තැම්බර් 2020 20:34

    Latest News