පාස්කු කොමිසම හමුවේ හැසිරීම ගැන හරීන් ප්‍රනාන්දුට අවවාද කරයි (වීඩියෝ)

සැප් 17, 2020
  • පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට කොමිසමේ සභාපති විනිසුරුවරයා දැඩි ලෙස අවවාද කර තිබේ.

    කෙමිෂන් සභාව තුළ සාක්‍ෂිකරුවෙකු මෙලෙස නීතිඥවරයෙකුට අගෞරව වන ලෙස හැසිරීම කොමිසමට කරන අගෞරවයක් ලෙස සලකන බව, සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙර දැනුවත්ව සිටියේ දැයි, විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බව, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කොමිසම හමුවේ කියා සිටියේය. ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සවස සාක්‍ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ප්‍රහාරය එල්ල වූ ඉකුත් වසරේ පාස්කු ඉරුදින උදෑසන කාදිනල් හිමිපාණන් දිව්‍ය පූජාවක් සිදු නොකිරීම සැකසහිත බව හරීන් ප්‍රනාන්දු මහතා ඉකුත් වසරේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ලවන අවස්ථාවේ තමන් බදුල්ලේ රැඳී සිටි බව ප්‍රකාශ කළේය. ප්‍රහාර එල්ලවීමෙන් පසු තමන් ඇමතූ තම සහෝදරිය “මල්ලී අපි පල්ලි යන්න හිටියේ කිංස්බරි හෝටලයට යන්න හිටියේ. තාත්තා ඊයේ රෑ කතා කරලා කිව්වා යන්න එපා කීවා“ යනුවෙන් පැවසූ බව, හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ දී කියා සිටියේය.

    එම ඇමතුමත් සමඟ තමා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා, තම පියා මේ පිළිබඳව දැනගෙන සිටි බවට දැනුවත් කළ බව ද ප්‍රනාන්දු කියා සිටියේය. අනතුරුව, රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කොළඹට පැමිණි තමන් ඒ වනවිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම පියා හමුවී, ප්‍රහාරය පිළිබඳ දැනුවත් වූයේ කෙසේ දැයි විමසූ විට, “තමුසෙට වඩා ගොඩක් දේවල් මම දන්නවා“ පමණකින් පිළිතුරු දුන් බව, හරින් ප්‍රනාන්දු මහතා සාක්‍ෂි දෙමින් වැඩිදුරටත් කියා සිටියේය.

    අදාළ කාලය වනවිට පෞද්ගලික හේතුවක් මත තම පියා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ යම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය අතර එහි නිලධාරියෙකු මෙම පෙර දැනුවත් කිරීම සිදු කළේ දැයි, සැක සහිත බව ද ප්‍රකාශ කෙරිණ. එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීිතිඥවරයා මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ, “අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් නන්දලාල් නමැත්තෙකු හඳුනන්නේ ද“ යන්නයි. ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, එවැන්නෙක් තමන් නොහඳුනන බවයි. ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා වැඩිදුරටත් ජනාධිපති කොමිසම හමුවේ දරුණු දක්වමින් කියා සිටියේ, “පාස්කු ප්‍රහාරයට පෙර දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් නන්දලාල් සමඟ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පියා, තත්පර 356ක දුරකතන සංවාදයක නිරත වී ඇති බව, දුරකතන දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී ඇති බවයි.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට සහ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ සාමාජික ආමි මොහිදීන් නමැත්තා සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පාසිකුඩා ගිය අවස්ථාවට එම නන්දලාල් නමැති සැරයන්වරයා සම්බන්ධ වී ඇති අතර, ප්‍රහාරයෙන් පසු ආමි මොහිදීන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ දුරකතනයේ තිබී සොයා ගෙන තිබුණේ ද මෙම නන්දලාල් නමැත්තාගේ ඡායාරූපයක් බවයි. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසුවේ කිසිදු අවස්ථාවක තම පියා තමන් අමතා පෞද්ගලිකව පල්ලිවලට යන්නට එපා යැයි නොපැවසූ අතර, තම සහෝදරිය අමතා පැවසූ දෙය පාස්කු දින ප්‍රහාරය සිදුවූ දිනයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බවයි.

    මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සියේ “මගේ පියා දැන් ඉන්නේ රෝහලේ. ඊයේ රෑ මට කතා කරලා කිව්වා, මේ පල්ලියට එහෙම යන්න එපා. මෙහෙම ආරංචියක් තියෙනවා. බුද්ධි අංශවල මේ පිළිබඳ තොරතුරු තිබිල තියලා තියෙනවා. තාත්තා කතා කරලා කිව්වේ කොච්චිකඩේ පල්ලි එහෙම යන්න එපා කියලා, යනුවෙන් තමන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය දේශපාලනිකව තමන්ට මඩ ගැසීමට අවභාවිත කළ බවයි.

    එහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ, ඔබ මාධ්‍ය හමුවේ නොකී දෙයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණේ ද යන්නයි. එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් කී දේ පමණක් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබූ බවයි. එහිදී විනිසුරුවරයා නැවත ප්‍රශ්න කර සිටියේ, දිගින් දිගටම ඔබ මාධ්‍ය විවේචනය කිරීම සාධාරණ ද යන්නයි.

    එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් විනාඩි 45ක පමණ මාධ්‍ය හමුවක් පැවැත්වුව ද, මාධ්‍ය ප්‍රචාරණය කරන ලද්දේ, සිය පියා ප්‍රහාරය ගැන දැන සිටියා යැයි, තමන් පැවසූ කොටස පමණක් බවයි. එම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොමිසමේ සාමාජික විනිසුරුවරයා කියා සිටියේ, “ඔබ විනාඩි 45ක ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වුව ද මාධ්‍යයට උපුටා ගෙන විකාශ කළ හැක්කේ, එම ප්‍රවෘත්ති සාකච්ජාවේ ඇති උණුසුම්ම විනාඩිය නොවේ ද යන්නයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා කියා සිටියේ, එම සිදුවීම සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් අපේ මිනිස්සු මැරුණා. ඇමති පුතා බේරුණා. යනුවෙන් පැවසීම තුළ ද තමන් විහාල වශයෙන් අපහසුතාවට පත්වූ බවයි.

    මෙම ප්‍රහාර පිලිබඳ බොහෝ පාර්ශව පෙර දැනුවත්ව සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇති පසුබිමක, පල්ලිය පමණක් කිසිවක් නොදැන සිටි බව තමන් විශ්වාස නොකරන බව ද හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේය. පසුගිය වසරේ පමණක් පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාව නොපවත්වන ලද්දේ, අගරදගුරු හිමිපාණන් එම ප්‍රහාරය පිළිබඳ දැනුවත්ව සිටි නිසාද යන්න පිළිබඳව විමර්ශනයක් කළ යුතු බවට පැවසීමත් සමඟ අගරදගුරුතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ, අගරදගුරු හිමිපාණන් සෑම වර්ෂයකම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ, පාස්කු ඉරුදිනයට පෙර සෙනසුරාදා දිනයේ මධ්‍යම රාත්‍රියේ බවත්, පසුගිය වසරේ ද සිරිත් පරිදි අප්‍රේල් 20 වැනි දින මධ්‍යම රාත්‍රී කාදිනල් හිමිපාණන් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී එම දිව්‍ය පූජාව පැවැත්වූ බවත්, මම ඔබට එය යෝජනා කළොත් එය පිළිගන්නේ ද යන්නයි. එහිදී හරෙන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, තමන් ඒ පිළිබඳ නොදැන සිටි අතර, ඉහත කළ ප්‍රකාශය පදනම් විරහිතව හුදෙක් මනසට ආ පමණින් සාක්‍ෂි නොමැතිව ප්‍රකාශ කළ බව පිලිගන්නා බවයි. ඉන් අනතරුව ජනාධිපති නීතිඥවරයා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් කොළඹ කතෝලික පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයෙකු පිළිබඳව විමසීමත් සමඟ මන්ත්‍රීවරයා නොසන්සුන් විය.

    එහිදී නීතිඥවරයා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ, අදාළ පාසලේ රගර් කණ්ඩායම ඉකුත් වසරේ පාස්කු ඉරුදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම්වල නිරතවීමටත්, පුහුණුවීමෙන් පසු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුැරට යාමටත් යොදා ගෙන සිට ඇති බවයි. නමුත්, අදාළ කණ්ඩායමේ සිටි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයා පමණක් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දින පුහුණු සැසියට සහභාගි වී නොමැති බව, ජනාධිපති නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමු කළේය. කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න විමසීම සම්බන්ධයෙන් දැඩි ලෙස ආවේගශීිලි වූ හරීන් ප්‍රනාන්දු මහතා, කොමිසම් සභාවේ විත්ති කූඩුවේ සිටම කාදිනල් හිමිපාණන් නියෝජනය කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතාට එම ප්‍රශ්නය යොමු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් දෝෂාරෝපණය කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 සැප්තැම්බර් 2020 20:10

    Latest News