මධ්‍යම පාන්තිකයන්ට 6.25% පොලියට නිවාස ණය (වීඩියෝ)

සැප් 17, 2020
  • නාගරික, මධ්‍යම පාන්තික ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා ඉතා සහන පොලී අනුපාතයකට ණය ලබාදීමට රජය තීරණය කර තිබේ.

    කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව පැහැදිලි කෙරිණ.

    1969 අංක 1 දරණ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව පනත යටතේ නිකුත් කර ඇති, අති විශේෂ ගැසට් නිවේදන 4 පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි. දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ, වෙළෙඳ භාණ්ඩ සහ මෝටර් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීම එක් තීරණයක්.

    සැපයුම්කරුවන් ලබාදෙන ණය පහසුකම් මත හෝ විදේශ විනිමය වැය නොවන පදනම මත හෝ තෝරාගත් භාණ්ඩ ආනයනයට ඉඩ සැලසේ. දේශීය කර්මාන්තය, කෘෂි කර්මාන්තය, ආනයන සැකසුම් සහ දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය තෝරාගත් භාණ්ඩ ආනයනයට ද අවසර හිමිවන බව රජය පවසයි.

    විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ඇගයීමක් සිදු කිරීම සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වෙත පැවරීමට ද තීරණය කර තිබේ.

    කෙරවලපිටියේ මෙගාවොට් 300ක එල් එන් ජී විදුලි බලාගාරයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. වසර තුනකින් ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි.

    ළමා හා තරුණ ප්‍රජාව පිළිබඳ සහ තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනත් සංශෝධනයට ද රජය තීරණය කර තිබේ.

    සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීම සඳහා අදාළ කම්කරු නීති සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    2021වර්ෂය සඳහා වන අයවැය පිළියෙළ කිරීමේදී අනුගමනය කරන ලද ප්‍රතිපත්ති රාමුව මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

    සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්‍ෂිත ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන්කිරීම සිදු කෙරේ. 2021 විසර්ජන පනත් කෙටුම්පත ලබන ඔක්තෝබර් මස 02 වැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම විසර්ජන පනත, කෙටුම්පත් කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    Latest News