2021 අයවැය ඔක්තෝබර් මාසයේදී

සැප් 17, 2020

    2021වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

    2021 වර්ෂය සඳහා වන අයවැය පිළියෙල කිරීමේ දී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති රාමුව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

    • ‘සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කරගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන්කිරීම.

    • අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ වෙත විෂයන් පැවරීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් පරිදි අදාළ අරමුණු ඉටු කරගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීම.

    • සැමට පානීය ජලය ලබා දීම, මුළු දිවයිනම ආවරණය වන පරිදි කිලෝමීටර 100,000ක මාර්ග පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, ජලජ සම්පත් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව ලබා දීම.

    • රාජ්‍ය ආදායම 2021 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 10.2%ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති බැවින් එම තත්ත්වය යටතේ වියදම් කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කරමින් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් රාජ්‍ය ආයෝජන වැඩසටහන සඳහා සම්පත් වෙන් කිරීම.

    • රජයේ කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම.

    • සම්පත් අඩු ප්‍රමාණයක් යොදවමින් වඩාත් ඵලදායී ප්‍රතිඵල අත් කරගැනීමට හැකි වන පරිදි දැනට පවත්නා ක්‍රමවේද සමාලෝචනය කර සරල ක්‍රමවේද වෙත යොමු වීම කෙරෙහි අවධානය යොමු කිරීම.

    ඉහත කරුණු පිළිබඳව අයවැය පිළියෙල කිරීමේදී ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ.

    Latest News