අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෘදයා බාධයක්

සැප් 17, 2020

    ඉන්දියාවේ දී මියගිය බව පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමගේ ලසන්ත පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා“ගේ මරණය විෂ ශරීර ගතවීමක් හෝ සැකකටයුතු හේතුවක් මත සිදුවුවක් නොවන බවට අනාවරණය වී තිබේ.

    ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශය සඳහන් කර ඇත්තේ, එම මරණය හෘදයා බාධයක් හේතුවෙන් සිදුවුවක් බවට සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවි.

    පසුගිය ජුනි මස 03 වැනි දින කොයිම්බර්තූර්හි රෝහලක දී මියගිය බවට වාර්තා වු අංගොඩ ලොක්කාගේ මරණය විෂ ශරීරගත වීමකින් සිදුවූවක් බවට විවිධ වාර්තා පලවී තිිබිණ.

    කෙසේවෙතත් සිදුකළ පරික්ෂණවල දී එම මරණය ස්වභාවික හේතුවක් මත සිදුවූවක් බවට නියමනය කළ හැකි බව ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශය සඳහන් කර ඇත.

    මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා“ ඉන්දියාවට පලාගොස් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් “ප්‍රදීප් සිං“ යන නමින් වසර දෙකක පමණ කාලයක් පෙනී සිට ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

    කෙසේවෙතත් “අංගොඩ ලොක්කා“ ඉන්දියාවේ දී මියගොස් ඇති බවට මෙරට ආරක්ෂක අංශ විසින් මෙතෙක් සනාථ කර නැහැ.

    Latest News