අසාදු ලේඛනයේ නම් රැසක් යහපාලන රජය ඉවත්කරලා

සැප් 16, 2020

    ජාත්‍යන්තරව හා දේශීයව ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සකස් කළ ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ඇතුළත් අසාදු ලේඛනයේ නම් රැසක් යහපාලන රජය විසින් ඉවත්කර ඇති බව අද හෙළිවිය. 

    ඒ, හිටපු ආරක්‍ෂක ලේකම් යූ.ඩී. බස්නායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ කළ කරුණු දැක්වීමේදී.  ඔහු කියා සිටියේ, අසාදු ලේඛනයේ ඇතැම් නම් ඉවත් කිරීමට එවක විදේශ අමාත්‍යවරයා වූ මංගල සමරවීර මහතා තම නිලධාරීන්ට බලපෑම් කළ බවයි.

     

    හිටපු ආරක්‍ෂක ලේකම් යූ.ඩී. බස්නායක මහතා අද මුල්වරට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

     

    ඒ රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ශම්මි කුමාරරත්න මහතා කොමිසමට කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් සාක්‍ෂි විමසීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවයි.

     

    2015 ජනවාරි 11 වැනි දින තමා ආරක්‍ෂක ලේකම් ධූරයට පත් කෙරුණු බවත්, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ 2014 වසරේ ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ඇතුළත් අසාදු ලේඛනයේ පුද්ගලයින් 424 දෙනෙකු සහ ආයතන 16ක් ඇතුළත්ව තිබූ බව සඳහන් කෙරිණ.

     

    එක්සත් ජාතීන්ගේ 1373 ප්‍රඥප්තියට අනුව ජාත්‍යන්තරව ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා දේශීය හා විදේශීය බුද්ධි අංශ එක්ව සකස් කළ එම ලේඛනය 2015 දී යාවත්කාලීන කිරීමට අවශ්‍ය නොවන බව බුද්ධි අංශ විසින් ආරක්‍ෂක අමාතයාංශයට දැනුම් දී තිබූ බව ද යූ.ඩී. බස්නායක මහතා ප්‍රකාශ කළේය.

     

    කෙසේ වුවද, එම අසාදු ලේඛනයට ඇතුළත්ව තිබූ සුරේන්, සුරේන්ද්‍රන් සහ එම්මානුවෙල් පියතුමාගේ නම් ඉවත් කිරීමට මංගල සමරවීර මහතා, තමාට බලපෑම් කළ බව එවක ජාතික බුද්ධි ප්‍රධානි තනතුරේ තාවකාලිකව කටයුතු කළ ශම්මි කුමාරරත්න තමන්ට දැනුම් දුන්නද, තමා ඒ පිළිබඳ තැකීමක් නොකලේ, අසාදු ලේඛනයේ නම් ඉවත් කිරීමට ආරක්‍ෂක අමාත්‍යවරයා, ලේකම්වරයා මෙන්ම ආරක්‍ෂක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය නිසා බව ද කොමිසම හමුවේ සඳහන් කළේය.

     

    කෙසේ වෙතත්, එම අසාදු ලේඛනයෙන් නම් ඉවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යවරයාට හැකියාව ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශ මත බැවින් බුද්ධි අංශ විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයට ලිඛිතව කිසිදු දැනුම්දීමක් කර නොමැති පසුබිමක මංගල සමරවීර මහතා සිය පෞද්ගලික හිතවත්කම් මත එලෙස කටයුතු කිරීම ගැටලු සහගත බව හිටපු ආරක්‍ෂක ලේකම් යූ.ඩී.බස්නායක මහතා පෙන්වා දුන්නේය.

     

    අනතුරුව කොමිසම සාක්‍ෂිකරුට 2015 වසරේ නිකුත් කරනු ලැබූ නවතම අසාදු ලේඛනයට ඇතුළත් කළ පුද්ගලයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය පෙන්වූවා. එය නිරීක්‍ෂණය කරමින් බස්නායක මහතා ප්‍රකාශ කලේ, තමන් 2015 සැප්තැම්බර් මස 11 වැනිදා විශ්‍රාම ගිය බවත්, ඊට පසුව ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කළේ කරුණාරත්න හෙට්ටිආරච්චි මහතා බවයි. 

     

    කෙසේ වෙතත්, යාවත්කාලීන කළ අසාදු ලේඛනයේ පුද්ගල නාම සංඛ්‍යාව 424 සිට 155 දක්වාත්, ආයතන සංඛ්‍යාව 16 සිට 6 දක්වා අඩුකර ඇති බව සාක්‍ෂිකරු ද ප්‍රකාශ කළේය.  තමා ධූරයෙන් ඉවත් වී මාසයක් තුළ මේ ආකාරයෙන් නම් ඉවත් කිරීම ගැටලු සහගත බවත්, තමන් කිසි දිනෙක ආරක්‍ෂක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව එම නම් ඉවත් කිරීමට අවසර ලබා නොදෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් යූ.ඩී. බස්නායක මහතා කියා සිටියේය.

     

    කොමිසම සාක්‍ෂිකරුගෙන් යළි විමසීමක් කලේ, මෙම ක්‍රියාදාමය විදෙස් රටවල සිටින ත්‍රස්තවාදීන්ගේ සිත් දිනා ගැනීමට සිදු කළ කාරණයක් ද යන්නයි.  සංහිඳියාව ප්‍රශ්නය මෙන්ම, ආණ්ඩු බලය ලබා ගැනීමට සුළු ජාතික පක්‍ෂවල සහය ලබාගැනීම වෙනුවෙන් ඔවුන් සතුටු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ කතා නොකළාට ඔවුන් ගන්නා තීන්දු තීරණවලින් තමාට හැඟී ගිය බව හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

     

    ඒ අනුව, මේ පිළිබඳ වැඩිදුර සාක්‍ෂි විමසීම සඳහා කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කොමිසම වෙත කැඳවීමට ලබන 18 වැනිදාට සිතාසි නිකුත් කිරීමට කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා තීරණය කළේය.

     

    මේ අතර, සමෘද්ධි අමාත්‍යාංශයේ හිටපු ලේකම් නෙවි් හපුවින්න මහතාගේ පැමිණිල්ලට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‍ෂ යන මහත්වරුන් හැර දූෂණ විරෝධි කමිටුවේ සාමාජිකයින් සියලු දෙනාට ජනාධිපති කොමිසම විසින් අද නොතිසි නිකුත් කරනු ලැබීය.

    Latest News