තම රාජකාරි පැහැර හැරීමක් නෑ; හිටපු ජාතික බුද්ධි ප්‍රධානි (වීඩියෝ)

සැප් 16, 2020
  • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට නොහැකිවූයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි, තමා කිසිවිටකත් පිළිනොගන්නා බව, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ සවස සාක්‍ෂි ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

     

    හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ, 6 වැනි වරටයි.  ඔහු මෙහිදී සඳහන් කළේ, පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වාගත නොහැකි වූයේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිසිය ත්‍රස්ත විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අසමත් වූ නිසා බවයි.

     

    රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, පාස්කු ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් කළ පූර්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබට යොමු කළ ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කළේ දැයි පළමුවෙන් ප්‍රශ්න කළාය.

     

    අදාළ ලිපියේ අන්තර්ගත බුද්ධි තොරතුරෙහි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ වැදගත් පල්ලි සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදී කණ්ඩායමකගේ ඉලක්ක බවට, ලක්විය හැකි බව, සඳහන් වූ බැවින් එය පොලිස්පතිවරයාට දැන්වීම වැදගත් යැයි සළකා ලිපිය නිලධාරියෙකු අතින්ම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යොමු කළ බව, සිසිර මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේය.

     

    රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්‍ෂිකරුගෙන් නැවත විමසා සිටියේ, ප්‍රහාරය එල්ලවීමට පෙර අප්‍රේල් 19 වැනි දින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා  ඔබට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ ද යන්නයි. මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු දෙමින් අප්‍රේල් 19 වැනිදා නිලන්ත ජයවර්ධන මහතා තමන් අමතා කාත්තන්කුඩියේ පිපිරීමක් සිදුව ඇතැයි, පැවසූ බව සඳහන් කළේය.

     

    ඊට සහරාන් හසීම් සම්බන්ධ බවට, එම දුරකතන ඇමතුමෙන් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ දැයි, අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ, ඒ පිළිබඳව කිසිවක් නොපැවසූ බවයි.

     

    ඇය යළිත් විමසා සිටියේ ඔබේ බිරිඳ කතෝලික බැතිමතෙකු වන බැවින්, ඉකුත් වසරේ අප්‍රේල් 20 සෙනසුරාදා පස්වරුවේ දේව මෙහෙයක් සඳහා දේවස්ථානයකට ගියේ ද යන්නයි.

     

    මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයාට බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දී තිබූ බැවින්, ඔහු ආරක්‍ෂක පියවර ගන්නට ඇතැයි සිතූ නිසාත්, තම බිරිඳ මෙම බුද්ධි තොරතුරු පිළිබඳ නොදැන සිටි නිසාත් අප්‍රේල් 20 වැනිදා පස්වරුවේ, තම ප්‍රදේශයේ දේවස්ථානයට ගිය බවත් ප්‍රකාශ කළේය.

     

    පාස්කු ප්‍රහාරයට පෙරදින දේවස්ථානය වෙත යාමට පිටත් වූ අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා තමාට යළිත් දුරකතන ඇමතුමක් ලබාදුන් බවත්, “සර් මේක ප්‍රශ්නයක් සර්.  මම පොලිස්පතිට කියලා තියෙන්නේ“ යනුවෙන් ඔහු ප්‍රකාශ කරනවාත් සමඟ ඇමතුම විසන්ධි වූ බවත්, මෙන්ඩිස් මහතා සාක්‍ෂි දෙමින් කියා සිටියේය.  යළි ජයවර්ධන මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ නොගත් බවද මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

     

    මෙපමණ දැනුවත් කර තිබියදීත් දිවයිනේ ස්ථාන 8කට ප්‍රහාර එල්ලවීම තුළ තම රාජකාරී පැහැර හැරියා යැයි ඔබේ සිත දොස් පවරන්නේ නැද්දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය නැවත ප්‍රශ්න කළාය.

     

    ඊට පිළිතුරු ලෙස මෙන්ඩිස් මහතා තමා එසේ නොසිතන බව කියා සිටියේය.  වගකිවයුතු අය සහරාන් අත්අඩංගුවට නොගත් නිසා මෙවැනි තත්වයක් ඇති වූ බව ඔහු පවසයි.

     

    රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්‍ෂි විමසීමෙන් පසු ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව නොතීසි නිකුත් කර ඇති පාර්ශවයන්ට ලබා දුන්නද, එම අවස්ථාව වනවිට ඇතැම් පාර්ශව කොමිසම් ශාලාව තුළ රැදී නොසීම සභාපතිවරයාගේ දැඩි අප්‍රසාදයට ලක්විය.

     

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන, හිටපු යුද බුද්ධි අධ්‍යක්‍ෂ චූලා කොඩිතුවක්කු සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෛවිරත්න යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥයන් ප්‍රශ්න ඇසීමට තම ජ්‍යෙෂ්ඨ නීිඥයන් නොමැති බව, කොමිසමට දන්වා සිටියේය.

     

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද, එම අවස්ථාව වනවිට ශාලාව තුළ රැඳී සිටියේ නැහැ.

     

    මේ පිළිබඳව එම නීතිඥවරුන්ට සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්‍ෂි විමසිය හැකි අවසාන දිනය හෙට බව කියා සිටියේය.  හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසීමට තමන්ට හරස් ප්‍රශ්න නොමැති බව පැවසීම ද විශේෂත්වයක්.

     

    කොමිෂන් ශාලාව තුළ ප්‍රශ්න ඇසීම සඳහා ඉදිරිපත් වූ එකම නීතිඥවරයා වන අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා, සිසිර මෙන්ඩිස් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසුවේය.  

     

    ඔහු ප්‍රශ්න කළේ, රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා ඉකුත් වසරේ අප්‍රේල් 8 වැනි දින ඔබට යොමු කළ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස, අනෙකුත් ආරක්‍ෂක අංශ සමඟ බෙදා නොගත්තේ මන්ද යන්නයි.

     

    මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු දෙමින් අදාළ බුද්ධි තොරතුර නිලන්ත ජයවර්ධන මහතා අප්‍රේල් 9 වැනි දින පැවති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ සාකච්ජාවට ගනීවියැයි, බලාපොරොත්තු වුවද, ඔහු එය සාකච්ජාවට නොගත් නිසා එම තොරතුර අනෙකුත් ආරක්‍ෂක අංශ වෙත යොමු කිරීමට තමා ක්‍රියා නොකළ බව ප්‍රකාශ කළේය.

     

    අදාළ තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් නොකළේ මන්දැයි නීතිඥවරයා මෙන්ඩිස් මහතාගෙන් යළි ප්‍රශ්න කළේය.

     

    “මම වාර්තා කරන ඉහළම නිලධාරියා පොලිස්පතිවරයා, එතනින් එහාට මට යන්නට බැහැ.  මම කවදාවත්ම ජනාධිපතිවරයාට, ජනාධිපතිවරයාට කතා කරලා නැහැ“.  යනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේය.

     

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ න්‍යායාචාර්ය ලෙස සැලකෙන නව්ෆර් මව්ලවි යන අය අද ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ පොලිස් ඒකකයට කැඳවා තිබිණ. 

     

    මේ අතර, කොමිසමේ නියෝග මත පසුගියදා එහි පොලිස් ඒකකයට භාරදෙනු ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ භාවිත කළ ජංගම දුරකතනය හා ලැප්ටොප් පරිගණකය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස, ජනාධිපති කොමිසම එහි ලේකම්වරයාට අද නියෝගය කළේය.

     

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කොමිසම නියෝග කළේ, 2019 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා පණිවුඩ හුවමාරු කරගෙන ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.  එම උපකරණ තුළ පාස්කු ප්‍රහාරය යන විෂය පථයට අදාළ පටිගත කරන ලද හඬපට හෝ වෙනත් සාක්‍ෂි ඇත්නම් ඒ පිළිබඳ සති දෙකක් ඇතුළත කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපති කොමිසම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (16) නියෝග කළේය. 

    Last modified on බදාදා, 16 සැප්තැම්බර් 2020 20:29

    Latest News