නව මුතුවැල්ල උමං මාර්ගයේ වැඩ කඩිනම් කිරීමට අගමැතිගෙන් උපදෙස් (වීඩියෝ)

සැප් 07, 2020
  • වසර 225 කට වඩා පැරණි ලන්දේසි යුගයේ ඉදිකරන ලද මුතුවැල්ල උමං මාර්ගයට විකල්පයක් වශයෙන් උතුරු කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකරමින් පවතින නව මුතුවැල්ල උමං මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කොළඹ අගනගර ආශ‍්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට (Metro Colombo Urban development) උපදෙස් ලබා දෙයි.

    මේ වන විට මීටර් 3 ක විශ්කම්භයකින් යුත් උතුරු කොළඹ නව මුතුවැල්ල උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු අවසන් අදියරේ පසුවේ. මීටර් 778 ක් දිගින් යුත් උමඟ ඉදිකර අවසන් කර ඇති අතර දැනට සිදු කෙරෙන්නේ මෝදර ප‍්‍රදේශයෙන් එම නව උමඟ මුහුදට වැටීමේ වැඩ කටයුතුයි. මාස 3 ක් ඇතුළත නව උමෙඟහි වැඩ කටයුතු මුළුමනින්ම අවසන් කිරීමෙන් අනතුරුව ඒ හරහා ජලය බැස යාමේ කටයුතු සිදු කෙරුණු ඇත.

    අලූත් මාවත ප‍්‍රධාන ඇළ මාර්ගය අසලින් මෙම නව උමඟ ආරම්භ වන අතර උමඟ අවසන් වන්නේ මෝදර ධීවර වරාය ආසන්නයෙන් ය.

    මෙම උමෙඟහි දිග ප‍්‍රමාණය මීටර් 778 කි. මෙම උමෙඟහි අවම ගැඹුර මීටර් 3 1/2 ක් වන අතර එහි උපරිම ගැඹුර මීටර් 17.2 කි. උමඟ ආරම්භක කොටස කෙටි විවෘත ඇළ මාර්ගයක් ලෙස ඉදිවනු ඇත. ඉන්පසුව භූගත උමං මාර්ගයක් ලෙස තත්පරයකට ජලය ලීටර් 15,000 ක් මුහුදට මුදා හැරිය හැක.

    අලුත් මාවත හා ළුණු පොකුණ ග‍්‍රාම සේවා වසම් හරහා පොළව යටින් ජලය බැස යාම සඳහා මෙම උමඟ ඉදිකර තිබේ.

    කොළඹ නගරයේ ඇළ මාර්ග හා කාණු පද්ධතිය ලන්දේසි යුගයේ ඉදිකර තිබෙන්නේ මීට වසර 225 කට පමණ පෙර බවට තොරතුරු වාර්තා වේ.

    මීටර් 1.8 ක විශ්කම්භයකින් මුතුවැල්ල පැරණි උමං මාර්ගය උතුරු කොළඹ වතුර බැස යාමට ඉදිකර තිබුණ ද වසර 225 ක් මෙම ප‍්‍රදේශය ක‍්‍රම ක‍්‍රමයෙන් නාගරීකරණය වීමෙන් අනතුරුව පසුකාලීනව උතුරු කොළඹ ප‍්‍රදේශයේ ජලය බැස යාමට මීටර් 1.8 ක විශ්කම්භයකින් යුත් මෙම මුතුවැල්ල පැරණි උමං මාර්ගය ප‍්‍රමාණවත් නොවීය.

    මේ නිසා බ්ලූමැන්ඩල් සහ අලූත් මාවත ප‍්‍රදේශ කුඩා වර්ෂාවකදී වුව ද ජල ගැලීම්වලට ලක්වන නිසා එම ගංවතුර තත්වයෙන් පවුල් රැසක් වැසි කාලවලදී දැඩි අසරණ තත්ත්වයකට පත්වෙති.

    මේ කරුණු ගැන එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වී තිබුණු අවස්ථාවකදී 2010 වර්ෂයේ දී පාර්ලිමේන්තු සංකීර්ණය ද ජලයෙන් යට විය.

    ඉන් අනතුරුව මෙම කරුණු ගැන අවධානය යොමු කිරීමෙන් පසු කොළඹ ගංවතුර පාලනය කිරීමට හා හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කරගෙන කොළඹ අගනගර ආශ‍්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.

    එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමාන ජනාධිපති එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මෙම ව්‍යාපෘතිය සිදු කරන ලෙසට උපදෙස් ලබා දෙන ලදී.

    “කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය”, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වේ. මෙම ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඇ.ඩො.මි. 321 ක් වන අතර එයින් ඇ.ඩො.මි. 213 ක් ලෝක බැංකුවෙන් සහනදායී ණය පදනම මත ලැබුණු අතර ශ‍්‍රී ලංකා රජය ව්‍යාපෘතියට ඇ.ඩො.මි. 108 ක් ආයෝජනය කර තිබේ.

    කොළඹ අගනගර කලාපයේ පවතින වැසි ජලය නිසා ඇතිවන ජල ගැලීම් දුෂ්කරතා අවම කර නාගරික යටිතල පහසුකම් නැංවීම හා පළාත් පාලන ආයතනවල හැකියාවන් වර්ධනය කිරීමට ව්‍යාපෘති යටතේ දැනටමත් වැඩසටහන් රැසක් ක‍්‍රියාවට නංවමින් සිටී.

    තවද කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් උප ව්‍යාපෘති 55 ක් ක‍්‍රියාවට නැංවෙන අතර ඉන් උප ව්‍යාපෘති 45 ක් මේ වනවිට නිමාකර ඇත. මෙම නිමාකර ඇති ව්‍යාපෘති අතර ගාලූ පාර හා ආර්. ඒ. ද මැල් මාවත ප‍්‍රතිසංස්කරණය, කොළඹ නගර ශාලා චතුරස‍්‍රයේ ආදර්ශ කලාපය සංවර්ධනය, බැද්දගාන ජෛව විවිධත්ව උද්‍යානය සංවර්ධනය හා කාක දූපත වෙරළ උද්‍යානයේ නවීකරණයන් සිදුකිරීම ආදී ව්‍යාපෘති ප‍්‍රධාන වේ.

    දැනට ක‍්‍රියාවට නැංවෙන ව්‍යාපෘති 10 ක් අතුරින් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා ක‍්‍රියාත්මක කොලොන්නාව හා මාදිවෙල නැගෙනහිර ජල හැරවුම් ඇළ මාර්ග නවීකරණය කිරීම, අඹතලේ, ශාන්ත සෙබස්තියන් උතුරු හා දකුණු පොම්පාගාර ඉදිකිරීම ආදිය ඇතුළත් වේ. එමෙන්ම, මෙයට සමඟාමීව මීටර් 1,100 ක් වන ප‍්‍රධාන උමං මාර්ගයකින් හා මීටර් 2,500 ක් වන අතුරු උමං මාර්ග තුනකින් සමන්විත ටොරිංටන් උමං මාර්ග පද්ධතියේ ඉදිකිරීම් කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත. ටොරිංටන් ප‍්‍රධාන උමං මාර්ගය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාල ප‍්‍රදේශයෙන් ආරම්භ වී බෞද්ධාලෝක මාවත ඔස්සේ ගමන්කර බම්බලපිටිය වෙරළ තීරයෙන් මුහුදට වැටේ.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් කි‍්‍රයාත්මක කරන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්්කරගැනීම්, නැවත පදිංචි කිරීම් ඇතුළු සමස්ථ පිරිවැය රුපියල් මිලියන 3,450 කි.

    නව මුතුවැල්ල උමගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යන කටයුතු හා සැලසුම් 2013 වසරේදී ආරම්භ කළ අතර, එහි ඉදිකිරීම් කටයුතු පළපුරුදු විදේශීය සමාගමක් වන චයිනා පෙට්‍රෝලියම් පයිප් ලයින් ඉංජිනියරින් කම්පැනි ලිමිටඞ් ආයතනයට භාර දෙන ලදි. ඉදිකිරීම් අධික්ෂණය යූෂින් ඉංජිනියරින් කෝපරේෂන් ලිමිටඞ් විසින් සිදු කරනු ලබන අතර මෙම ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ කි‍්‍රයාත්මක වේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා නව මුතුවැල්ල, අලූත් මාවත ග‍්‍රාම නිලධාරී වසමේ ජීවත්වන පවුල් දැනුවත් කර ඇති අතර පවුල් 150 කට අයත් ඉඩම් හෙක්ටයාර් 1.719 ක ප‍්‍රමාණයක් රජයට පවරාගෙන මෙම උමඟ ඉදිකිරීමට යොදාගන්නා ලදි. දැනටමත් මෙම ඉඩම් පවරා ගැනීමේ කි‍්‍රයාවලියේදී ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස හා ඉඩම් අහිමිවූවන්හට නිවාස හා වන්දි ගෙවීමට රුපියල් මිලියන 647 ක පිරිවැයක් දරා ඇත. තවද උමඟ ඉදිකිරීම හේතුවෙන් නිවාස අහිමි වූ අනවසර පවුල් 63 ක් සඳහා “මෙත්සඳ සෙවන” නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී තිබේ.

    නව මුතුවැල්ල උමං මාර්ගය ඉදිකිරිමෙන් පසු කාලාන්තරයක් තිස්සේ පැවති ජල ගැලීම් පාලනයට ස්ථිර විසඳුමක් ලැබෙන අතර කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ජල ගැලීම් වලින් තොර කොළඹ නගරයක් ඇතිකිරීම සඳහා කැප වී සිටියි.

    Last modified on සදුදා, 07 සැප්තැම්බර් 2020 20:18

    Latest News