එජාප පළාත් පාලන නියෝජිත පිරිසකගේ පෙත්සම් සලකා බැලීම ලබන 02

අගෝ 28, 2020

    සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයට සහයෝගය පළ කිරීම හේතුවෙන් තම මන්ත්‍රීධූර අහිමි කරමින් එක්සත් ජාතික පක්ෂයේ විසින් ගෙන ඇති තීරණය ගැසට් කිරීම වැළැක්වීමේ නියෝගයක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 40 ක පමණ පිරිසක් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් අද අභියාචන අධිකරණය හමුවේ සලකා බැලුනා.

    මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. ඒම්. ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    මෙහිදී මන්ත්‍රීධූර අහිමි කෙරුනු සමගි ජන බලවේගය පක්ෂයට සහය පළ කරන එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු ඉදිරිපත් කළා.

    ඉන් අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 02 වනදා සිදුකිරීමටයි අභියාචනාධිකරණය නියම කළේ.

    පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා සිටින්නේ කිසිදු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවයි.

    එබැවින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයට අනුව තමන්ගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමේ නියෝග ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමේ ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් අභියාචනාධිකරණය වෙත මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News