රිෂාඩ් බද්යුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියේ නෑ

ජූලි 20, 2020

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශණ අංශයට පැමිණෙන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට දැනුම් දී තිබුණද ඔහු අද ඒ සඳහා සහභාගී වූයේ නැහැ.

    මීට පෙර අවස්ථා තුනකදී රිෂාඩ් බද්යුදීන් මහතාට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි බවයි වාර්තා වන්නේ.

    කොළඹ කොටුව නව මහ ලේකම් ගොඩනැගිල්ලේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ හතරෙහි ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක දීපානි මැණිකේ මහත්මියගේ අත්සනින් යුතුව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට මේ සඳහා කැදවීම් ලිපිය යොමු කර තිබුණා.

    ඒ 1979 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ 11 වන පරිච්ඡේදය යටතේයි.

    පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේදී ඉන්සාෆ් අහමඩ් විසින් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පිපිරවීමට අදාළව පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පරීක්ෂණ සදහා රිෂාඩ් බද්යුදීන් අවස්ථාගත කරුණු දන්නා බවට තොරතුරු හෙළි වී ඇති බැවින් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව එම කැඳවීම් ලිපියේ සඳහන්ව තිබෙනවා.

    ජුලි 20 එනම් අද දිනයේ උදෑසන 9.30 ට කොටුව නව මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ තුන වෙත පැමිණෙන ලෙස හිටපු අමාත්‍යවරයාට දැනුම් දී තිබුණ ද අද දිනයේත් ඔහු නොපැමිණි බවයි, වාර්තා වුණේ.

    නිකුත් කර ඇති නියෝගයට පටහැනිව කටයුතු කිරීම දණ්ඩනීති සංග්‍රහයේ 172 වන වගන්තියට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

    Latest News