විගමණික දූදරු ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනීම ජූලි 31 දක්වා

ජූලි 07, 2020

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් වෙත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන අරමුදල මඟින් වාර්ෂිකව පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජූලි 31 දක්වා දීර්ඝ කෙරේ.

    මීට පෙර අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබුනේ අප්‍රේල් 30 දක්වාය. කොරෝනා වෛරසය හේතුවෙන් පනවා තිබූ ඇඳිරිනීති තත්ත්වය යටතේ අයදුම්පත් එවීමට නොහැකි වූ අයවලුන් වෙත තම අයදුම්පත එවීම සඳහා මෙලෙස අවසන් දිනය දීර්ඝ කර තිබේ.

    ඒ අනුව, 2019 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමතුන්, 2018 වර්ෂයේ අ.පො.ස.(සාමාන්‍ය පෙළ) සමතුන් හා 2018 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරණ දූදරුවන් සඳහා පිළිවෙලින් රු.20,000.00, 25,000.00, 30,000.00 බැගින් ශිෂ්‍යාධාර පිරිනැමේ. අදාල අයදුම්පත www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය.

    1996 වර්ෂයේ ඇරඹි මෙම වැඩසටහන යටතේ මේ දක්වා සිසුන් 44,832 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 8974 වටිනා ශිෂ්‍යත්ව පිරිනමා තිබේ.

    Latest News