පාස්කු ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි සේවයට තවත් චෝදනාවක්

ජූලි 06, 2020

    පසුගිය ආණ්ඩු සමයේ රාජ්‍ය බුද්ධි සේවය කාර්යක්‍ෂම ක්‍රියා නොකිරීම හේතුවෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මොහොමඩ් හෆීස් මාසෝ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්‍ෂි ලබාදෙමින්.

    ඔහු දෙවන දිනටත් සාක්‍ෂි ලබාදෙමින් කියා සිටියේ, බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ කාර්යක්‍ෂම භාවය හේතුවෙන් පසුගියදා බ්‍රිතාන්‍යයේ අන්තවාදී මුස්ලිම් කාන්තාවක් සිදු කිරීමට ගිය ප්‍රහාරය වළක්වා ගැනීමට හැකි වූ බවයි. රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතාට පසුගිය වසරේ අප්‍රේල් 04 වැනිදා ඉන්දීය ඔත්තු සේවයක් විසින් ප්‍රහාරය පිළිබඳ මුල් තොරතුරු ලබාදුන්නේය. එම අවස්ථාවේදීම එය ආරක්‍ෂක ලේකම්වරයාට හා ජනාධිපතිවරයාට දැනුම් දිය යුතුව තිබූ බව ඔහු කියා සිටියේය.

    එසේ නොකර දින කිහිපයකට පසු අප්‍රේල් 09 වැනිදා පොලිස්පතිවරයා දැනුවත් කර වගකීම් නිසි ලෙස ඉටු නොකිරීමක් බව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා අද සඳහන් කළේය. මෙහිදී කොමිසම විමසුයේ එතෙක් රාජ්‍ය බුද්ධි සේවය සතුව සහරාන් හෂීම් ඇතුළු පිරිස සම්බන්ධයෙන් පැවති තොරතුරු නිලන්ත ජයවර්ධන මහතා විසින් පොලිස්පතිවරයාට යොමු කළ ලිපියෙහි ඇතුලත් කරනු ලැබුවේද යන්නයි.

    එය අනිවාර්යයෙන් ඇතුලත් කළ යුතු යැයි, සාක්‍ෂිකරු සඳහන් කළේය. උසස් නිලධාරින් තොරතුරුවලින් සන්නද්ධ විය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. ලැබූ තිබූ තොරතුරු ඉන්දීය ඔත්තු සේවය විශ්වාස කළ හැකි ඉහළම වර්ගීකරණයකට යටත් කර තිබූ බව, සාක්‍ෂිකරු කියා සිටියේය. අන්තවාදී කණ්ඩායමට අනවශ්‍ය ලෙස දේශපාලනය මැදිහත්වී තිබු බවට තමන් සතුව තොරතුරු පැවති බව ද සාක්‍ෂිකරු කියා සිටියේය.

    Latest News