අද විභාගයට ගත් UNP පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහි පෙත්සම

ජූලි 06, 2020

    තමා ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ගනු ලැබු තීරණය හා ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීරණය නීතියට පටහැනි බව සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට වැළැක්වීමේ වාරණ නියෝගය ප්‍රතික්ෂේප කිරීමට ඉකුත් දා කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව එරෙහිව රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් අද(06) බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් කැඳවනු ලැබූ අවස්ථාවේදී මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා මේ බව සඳහන් කර සිටියා.

    සම්පත් අබේකෝන් සහ මොහොමඩ් ලෆාර් යන සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවිය.

    ජනාධිපති නීතිඥ මොහොමඩ් මහතා සඳහන් කර සිටියේ ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් යටතේ තරඟ කිරීමටත් එම සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත පැවැත්වීමටත් ඉකුත් ජනවාරි මස පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීන්දු කළ බව සඳහන් කළා.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව සමගි ජන බලවේගය නැමැති සන්ධානය ස්ථාපිත කොට එහි නායකත්වය හා සජිත් ප්‍රේමදාස මහතාටත් ලේකම් ධුරය රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත් පැවරුණු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ බව තහවුරු කරමින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිස් තුන් දෙනෙකුගේ දිවුරුම් පෙත්සම් මෙම නඩුව සමග ගොනුකර තිබෙන බවත් පැවසුවා.

    එම කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයට අනුව ස්ථාපිත කෙරුණු සමගි ජන බලවේගය සංධානයේ එළිදැක්වීමේ උළෙල ඉකුත් මාර්තු මස 2 වනදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති අතර ඊට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණානායක යන මහත්වරුන්ට ආරාධනා කළ ද ඔවුන් සහභාගී නොවූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

    සමගි ජන බලවේගය හොර රහසේ ස්ථාපිත කළ සන්ධානයක් නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය යටතේ ස්ථාපිත කරන ලද සන්ධානයක් බැවින් එම සන්ධානයේ සාමාජිකත්වය ලබාගත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැණි බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

    මෙම පෙත්සම් පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම හෙට(07) දිනට කල් තැබුණි.

    Latest News