අගමැති සමඟ සාකච්ඡාවෙන් පසු වරායේ වෘත්තීය සමිති වර්ජනය අවසන්

ජූලි 03, 2020

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව වරාය සේවකයෝ අරඹා තිබූ වැඩ වර්ජනය නැවැත්වීමට පියවර ගත් බව වෘත්තීය සමිති එකමුතුව පවසයි.

    චීනයෙන් ගෙන් වූ ගැන්ට්‍රි දොඹකර 3ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති 23කට අයත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ උද්ඝෝෂණයක් ඇරඹූහ.

    මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සහ වරාය අධිකාරියේ වෘත්තීය සමිති 23කට අයත් සේවකයන් පිරිසක් අද තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණ සිටියහ.

    මෙම දොඹකර තුන නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බවද මේ හේතුවෙන් තම සටන අවසන් කිරීමට තීරණය කළ බවද වාණිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා පැවසීය.

    Latest News