මෙරට කොවිඩ්-19 වැළඳුණු 83%කට වඩා සුවයි

ජූනි 30, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 83.87% දක්වා ඉහළ ගොස් තිබේ.

    රෝහල්වලින් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 1,711ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 05 දෙනෙකු අද මෙරටින් වාර්තා වූහ. ඔවුන් සියලු දෙනාම ඕමානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු සමස්ත රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ, නාවික හමුදා සාමාජිකයින් අතරින්. එම පිරිස 904ක්. ඔවුන්ගෙන් 836 දෙනෙකුම මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 92.47ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 68 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 7.52ක්.

    වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 1,711 දෙනෙකුම අද වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 83.87ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 325 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 15.93ක්.

    කල්පිටිය සහ බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් ඉකුත් දින තුන තුළ 20 දෙනෙකු පිටව ගියේය.

    මාලදිවයිනේ රැකියාවල නිරතව සිටි තවත් 179 දෙනෙකු ඊයේ පැමිණියේය. ඔවුන් පැමිණියේ මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින්. සියලු දෙනාම නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    මැලේසියාවේ රැදී සිටි තවත් 49 දෙනෙකු අද උදේ පැමිණියේය. පිරිස ගුවන් තොටුපලේදීම පී සී ආර් පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ.

    මෙරට පැමිණිමට නොහැකිව කටාර්හි රැඳී සිටි 18 දෙනෙකු දෝහා සිට මෙරටට පැමිණියේය. ඔවුන් ද ගුවන් තොටුපලේදීම පී සී ආර් පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ.

    සමාජයේ නියැදි තෝරාගෙන පී සී ආර් පරීක්‍ෂණ සඳහා ජෛව පටල සාම්පල ලබාගැනීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. අද කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ දී ද ජෛව පටල සාම්පල සහ රුධිර සාම්පල ලබාගැනීම සිදු කෙරිණ. 30 දෙනෙකු ඊට අයත් වූහ.

    තාවකාලිකව වසා දැමුණු කෞතුකාගාරය හෙට සිට යළි විවෘත කිරීමට අනුමැතිය හිමිව තිබේ. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කෞතුකාගාර පරිශ්‍ර සකස් කර ඇති ආකාරය දක්නට ලැබෙන බව අප වාර්තාකරු පවසයි.

    Latest News