හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

ජූනි 30, 2020

    එක් විත්තිකරුවෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි 03 තුන් වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.

    මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින චන්ද්‍රරත්න යටවර නැමැත්තා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහුගේ ඇපකරු අධිකරණය හමුවේ පෙනී සිටිමින් දන්වා සිටියේ විත්තිකරු අසනීපව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අදාළ විත්තිකරු නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට තහවුරු කිරීම සඳහා විධිමත් ලේඛනයක් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති හෙයින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීමක් කළේය.

    එහෙත් විත්තිකරු සම්බන්ධයෙන් වරෙන්තුවක් නිකුත් නොකළ මහාධිකරණ විනිසුරුවරයා මෙම විත්තිකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ද? යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වා මීළඟ නඩු දිනයේ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි මස 03 වන දා තෙක් කල් තැබීමට ද තීන්දු කෙරිණි.

    බලපත්‍ර නොමැතිව "සකුරා" නමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම මෙන්ම ආධාර අනුබල දීම යන චෝදනා යටතේ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, චන්ද්‍රරත්න යටවර, වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු වන උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව සිටි ලිපිකාරිණිය වන ප්‍රියංකා සංජීවනී යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

    Latest News