අරන්තලා භික්ෂු ඝාතනය ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජූනි 30, 2020

    1987 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරන්තලාව භික්ෂු ඝාතන සිදුකළ දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහා පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

    අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළා.

    එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ යන අය නම් කර තිබෙනවා.

    පෙත්සම්කාර බුද්ධසාර හිමියන් කියා සිටින්නේ කොටි ත්‍රස්තවාදීන් විසින් 1987 වසරේ ජූලි මස 02 වනදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් භික්ෂූන් වහන්සේලා 31 නමක් අපවත් වී තවත් සිවිල් වැසියන් පිරිසක් ද මිය ගිය බවයි.

    මෙම සිද්ධියට සම්බන්ධ ත්‍රස්තවාදීන් ගණනාවක් තවමත් ජීවතුන් අතර සිටින බව පවසන පෙත්සම්කාර හිමියන් ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි සඳහන් කර සිටින්නේ.

    එබැවින් මෙම සිද්ධියට වගකිවයුතු ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක ලෙස වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ද උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

    මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ මූලික අයිතීන් උල්ලංඝනය වෙනුවෙන් රුපියල් කෝටි 2ක වන්දියක් රජයෙන් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ද උන්වහන්සේ වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

    Latest News