විදුලි බිල්පත් ගාස්තු සම්බන්ධව අවසන් විසඳුම අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුවයි

ජූනි 30, 2020

    විදුලි බිල්පත්වල සඳහන් ගාස්තු සම්බන්ධව අවසන් විසඳුම අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

    කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා විදුලි බිල්පත් නිසියාකාරව නොලැබීම හා ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව විදුලි ගාස්තු වැඩි යැයි කියමින් මහජනතාවගෙන් තමන්ට දිනපතා දුරකථනය මගින් පණිවුඩ ලැබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අද දින (30) පෙරවරුවේ ඛනිජතෙල් අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    විදුලි බිල්පත්වල ඇතුළත් ගාස්තු වැඩි යැයි මහජනතාව පැමිණිළි කරන අතර විදුලි මණ්ඩලය පවසන්නේ ඒ ඒ නිවෙස්වල පාවිච්චි කරන ලද ඒකක ප්‍රමාණය අනුව බිල්පත් සකසා ඇති බවයි. එසේ වුවද, විදුලි පාරිභෝගිකයින් පවසන්නේ තමන්ට ලැබී ඇති විදුලි බිල්පත්වල ගාස්තු කිසිසේත්ම සාධාරණ නැති බවයි.

    එමනිසා මේ සම්බන්ධව තමන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව විදුලි ගාස්තු සම්බන්ධ අවසන් තීරණය ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    කෙසේ වුවද කොවිඩ් 19 ඇඳිරි නීතිය පැවැති මාස තුනක කාලය තුළ ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති බව විදුලි පාරිභෝගිකයින්ද පිළිගන්නා කරුණකි. පවුලේ සියලු දෙනා නිවෙස් තුළ රැඳී සිටිම හා විදුලි උපකරණ භාවිතය ඉහළ යාම ද එයට හේතු වේ.

    මේ අතර මේ වනවිට මාර්තු, අප්‍රේල් හා මැයි මාස සඳහා විදුලි පාරිභෝගිකයින්ගෙන් විදුලි බල මණ්ඩලයට අය විය යුතු මුදල රුපියල් කෝටි 2000 ඉක්මවා තිබේ.

    නමුත් ජුනි මාසයේ බිල්පත්වලින් සියයට 90ක්ම මේ වනවිට විදුලි පාරිභෝගිකයින් විසින් ගෙවීමට කටයුතු කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    Latest News