ඇවන්ගාඩ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

ජූනි 30, 2020

    ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් විත්තිය විසින් මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.

    ධම්මික ගනේපොල ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    ඒ අනුව නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 02 වන දා ආරම්භ කරන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ.

    කෙසේ වෙතත් නඩුවේ ඉදිරි කටයුතු සලකා බැලීම සඳහා ජුලි මස 30 වනදා එය යළි කැඳවන ලෙස ද විනිසුරු මඩුල්ල නියම කළා.

    පැමිණිල්ල මෙහෙය වන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාට එරෙහිව මෙම නඩුවේ විත්තිකරුවකු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර ඇති බවත් එම සාක්ෂිකරු දේශපාලන පළිගැනීම පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති බවත් සඳහන් කළා.

    මෙම තත්ත්වය මෙම නඩුවේ ඉදිරි කටයුතුවලට බලපෑම් සිදුව හැකි ආකාරය පිළිබඳව පැමිණිල්ල සාකච්ඡා කරමින් සිටින බවයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

    කෙසේ වෙතත් මේ පිළිබඳව විවෘත අධිකරණයේ අදහස් දැක්වූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ධම්මික ගනේපොල මහතා, ජනාධිපති කොමිසම හමුවේ සිදුකරන කටයුතු තම අධිකරණයට කිසිසේත්ම අදාළ නොවන බව සඳහන් කළා.

    ජනාධිපති කොමිසම හමුවේ සිදුවන කාරණා සම්බන්ධයෙන් තම අධිකරණයට බැඳීමක් නොමැති බවත් එම සාක්ෂිකරු කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ පැමිණිල්ල විසින් බවත් සභාපති විනිසුරුවරයා අවධාරණය කළා.

    වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්. වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම චෝදනා 19 ඉදිරිපත් කර තිබේ.

    Latest News