හිටපු ඇමති රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් ඔහු විසින් ඉල්ලා අස්කර ගනී

ජූනි 30, 2020

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් ඔහුගේ නීතිඥ වරු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිශ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියම කළා.

    අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ ඇපය කොළඹ මහාධිකරණය විසින් අවලංගු කිරීමෙන් පසුව සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

    පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට ඇප මත මුදා හැර ඇති බවයි.

    මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

    ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය අනතුරුව එය නිශ්ප්‍රභ කිරීමට නියෝග කළා.

    Latest News