මෙරට පාතාල කල්ලියක් සතු විශාලතම ගිනි අවි තොගය (වීඩියෝ)

ජූනි 29, 2020
  • හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළෙඳසැලක සඟවා තිබූ ගිනි අවි 12ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද සමත්විය.

    මෙරට පාතාල කල්ලියක් සතුව තිබී සොයාගත් වැඩිම ගිනි අවි තොගය මෙය බව සැලකේ.

    මීගොඩ කරුවලගස්පිටිය පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු පරීක්‍ෂා කිරීමේදී ලද තොරතුරකට අනුව ගිනි අවි තොගය සොයාගෙන තිබේ. එම ගිනි අවි මීට මසකට පමණ පෙර වෙනත් ස්ථානයක සිට මෙම වෙළෙඳසැලට ගෙනවිත් ඇත්තේ, පරීක්‍ෂා කිරීමට ලක් කළ තැනැත්තා බවට තොරතුරු හෙළි වී තිබේ.

    ඒ අනුව, අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය හෝමාගම පිටිපන මොරගහහේන ප්‍ර දේශයේ ගිනි අවි සඟවා තිබූ වෙළෙඳසැල පරීක්‍ෂා කර ඒවා පොලිස් බාරයට ගනු ලැබීය. සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු පොට්ට කපිල ලෙසයි හැඳින්වේ.

    වෙළෙඳසැලේ හිමිකරු ද පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ. පොට්ට කපිල නමැත්තා මාතර ස්වර්ණාභරණ වෙළෙඳසලක් කොල්ලකෑමට සහ පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ අයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඔහු බන්ධනාගාරගතව සිට ඇප මත සිටින පුද්ගලයෙක්. සොයාගත් ගිනි අවි අතර, ටී 56 ගිනි අවි 11 සහ ටී 81 වර්ගයේ ගිනි අවියක්ද වේ.

    එම ගිනි අවි නිරීක්‍ෂණය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ද පැමිණ තිබේ. ගිනි අවි භාවිත කරමින් මෙරට ප්‍රධාන පෙළේ මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කුලී මිනිස් ඝාතන ද සිදුකර ඇතැයි සැක පළ කරන පොලිස් විශේෂ කාර්ය බලකාය, එම අපරාධ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කෙරේ. මේ වනවිට විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බව වාර්තාවේ.

    Last modified on සදුදා, 29 ජූනි 2020 20:20

    Latest News