ඇමති විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

ජූනි 29, 2020

    2016 වසරේ එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු හය දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම ඔක්තෝබර් මස 26 වන දා සිදු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු විත්තිකරුවන් පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියා.

    මෙහිදී සිද්ධිය වූ වකවානුවේ කුරුඳුවත්ත පොලිසියේ සේවය කළ නිලධාරියෙකු අධිකරණය හමුවේ සාක්ෂි සටහන් කරගැනීම සිදු විය.

    ඒ අනුව සාක්ෂිකරුගෙන් විත්තියේ නීතිඥවරු විසින් සිදුකිරීමට නියමිත හරස් ප්‍රශ්න විමසීම ඔක්තෝබර් මස 26 වනදා සිදු කිරීමටද මහේස්ත්‍රාත්වරිය තීන්දු කළා.

    මෙම පැමිණිල්ලේ විත්තිකරුවන් ලෙස අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය ජයන්ත සමරවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් යන අය නම් කර තිබෙනවා.

    Latest News