ගුරු වැටුප් කප්පාදුවකට එරෙහි පෙත්සම සලකා බැලීම නොවැම්බර් 4

ජූනි 29, 2020

    නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ වැටුපෙන් කොටසක් අඩු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 04 වනදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නැගෙනහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වැනිදා දක්වා කල් තබන ලෙස අධිකරණය නියම කළා.

    ලංක ගුරු සංගමය, එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු , එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් , ගුරු වැටුප් කප්පාදුවට ලක්වූ නැගෙනහිර පලාත් ගුරුවරයෙකු වන පොන්නදුරෙයි උදයරූබන් යන මහත්වරුන් විසින් පෙත්සම ගොනු කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.එම් .මන්සූර් , නැගෙනහිර පලාත් ප්‍රධාන ලේකම් ටී.පී.වනිගිසිංහ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

    ඉකුත් මාර්තු 31 වැනිදා නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නැගෙනහිර පලාතේ දුප්පතුන්ට ආධාර කිරීම යනුවෙන් සදහන් චක්‍රලේඛයක් පලාතේ ගුරුවරුන් වෙත නිකුත් කර ඇතැයි පෙත්සමෙන් සඳහන් වේ.

    ඒ තුළින් අප්‍රේල් මාසය සදහා දිනක වැටුපක් කපා හැර ඇති බවත් ඒ යටතේ පෙත්සම්කාර පොන්නතුරෙයි උදයරූබන් නැමැත්තාගේ මාසික වැටුපෙන් රුපියල් 1174.82 ක මුදලක් නොදන්වා කපා හැර ඇති බව දැන ගන්නට ලැබී ඇතැයිද පෙත්සමෙන් සඳහන් වෙයි

    මේ පිළිබඳව තවත් ගුරුවරු පිරිසක් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සංගමයට පැමිණිලි කර ඇත.

    මෙසේ ගුරු වැටුපෙන් නොදන්වා මුදල් කපා හැරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී

    ඊට අමතරව නැගෙනහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කළ ගුරු වැටුප් කප්පාදු කරන චක්‍රලේඛය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය මූලික අයිතීන් උල්ලංඝනය වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් පෙත්සම්කාර සංගමය අධිකරණයෙන් ඉල්ලා සිටී.

    Latest News