මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ පෙත්සමට අදාළ විරෝධතා ජුලි මස 31

ජූනි 29, 2020

    අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තමන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කර ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළ විරෝධතා ජුලි මස 31 වනදා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන්, නුගේගොඩ මහේස්ත්‍රාත් වරයා සහ නීතිපතිවරයාට නියෝග කළේ මෙම පෙත්සමට අදාළ විරෝධතා ජුලි මස 31 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

    මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණ දන්වා ඇත්තේ නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත කටයුතු නොකිරීම හේතුවෙන් ඉදිරියේ දී මෙම පෙත්සම වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින වැඩ බලන පොලිස්පති වරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන බවයි.

    හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන හඬපට සිද්ධියෙන් අනතුරුව එම කටයුතුවලට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනිම සඳහා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණි.

    එම සිතාසි නිකුත් කර ඇති ආකාරය නීති විරෝධී බව පවසමින් ගිහාන් පිලපිටිය මහාධිකරණ විනිසුරුවරයා විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම විනිසුරුවරයාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් මෙම පෙත්සම විභාගය අවසන් වන තුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    Latest News