කොවිඩ්-19; 1661ක් පූර්ණ සුවය ලබයි (වීඩියෝ)

ජූනි 28, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳුණු 1661 දෙනෙකුම පූර්ණ සුවය ලබා තිබේ.

    එම ප්‍රතිශත 81.62ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 363 දෙනෙකු පමණි. ප්‍රතිශතය 17.83ක්. කොවිඩ්-19 රෝගීන් දෙදෙනෙකු අද වාර්තා වූහ. ඔවුන් ඉන්දියාව සහ පකිස්තානයේ සිට පැමිණි පුද්ගලයින්.

    කොවිඩ්-19 රෝගයට ගොදුරු වූ නාවික හමුදා සාමාජිකයන් 910 දෙනාගෙන් 823 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. එම පිරිස රෝගය වැළඳුණු නාවික හමුදා සාමාජිකයන්ගෙන් 90.43%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, නාවික හමුදා සාමාජිකයින් 87 දෙනෙකු පමණි. එය අනුපාතයක් ලෙස 9.65%ක්.

    ඩුබායි සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි 51 දෙනෙකු අද මෙරටට පැමිණියේය. කටාර් රාජ්‍යයේ සිට පැමිණ ඇත්තේ සිව් දෙනෙකු පමණි. සියලු දෙනා ගුවන් තොටුපලේදීම පීසීඅර් පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ.

    මෙරටට පැමිණිමට නොහැකිව බෙලරුස්හි රැඳී සිටි 288 දෙනෙකු අද දිවයිනට පැමිණියේය. ඔවුන් ගුවන් තොටුපල පරිශ්‍රයේදීම පීසීආර් පරීක්‍ෂණයට යොමු කෙරිණ.

    මෙරට රැඳී සිටි තවත් පිරිසක් අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. එම පිරිසට ඉන්දීය ජාතිකයන් 104 දෙනෙකු අයත්. ඔවුන් ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නෞකාවකට අයත් කාර්ය මණ්ඩලයේ පිරිසක්. දින 14 නිරෝධායන කාලයකින් අනතුරුව එම පිරිස පිටත්කර හැරිණ.

    මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන්නන්ට එරෙහිව නෛතික පියවර ගැනේ. ඔවුන්ට නිරෝධායන නීතිය සහ අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව පොලිසිය පවසයි. එවැනි පුද්ගලයන් සොයා අද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    පොදු ස්ථානවල රැඳී සිටින හා මාර්ගවල ගමන් කරන අවස්ථාවලදී මුව ආවරණ නොපළදින පුද්ගලයින් පිළිබඳව ගාල්ල පොලිසිය විශේෂ පරීක්‍ෂාවක් සිදු කළේය.

    මුව ආවරණ නොමැතිව සිටි හක්මන මහජන පොළේ වෙළෙඳුන්ට සහ පාරිභෝගිකයන්ට ඊයේ අවවාද කෙරිණ. ඒ හක්මන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ හක්මන පොලිසියේ නිලධාරින් විසින්. ඉදිරියේ දී සිදුකරන පරීක්‍ෂා කිරිම්වලදී උපදෙස් නොපිළිපදින පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි.

    මුව ආවරණ නොමැතිව ගමන් කරන පුද්ගලයන් දැනුවත් කිරීම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දී ද අද සිදු කෙරිණ. දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන මට්ටමින් මාර්ග බාධක යොදා රථවාහන සහ පුද්ගලයින් පරීක්‍ෂා කළ බව අප වාර්තාකරු පවසයි.

    මුව ආවරණ නොමැතිව ගමන් කරන පුද්ගලයින් පරීක්‍ෂා කිරීම හා දැනුවත් කිරීම කොළඹ ප්‍රදේශයේ ද ක්‍රියාත්මකයි. අද එම මෙහෙයුම් කටුබැද්ද ප්‍රදේශයේ දී ද ක්‍රියාත්මක කෙරිණ. ඒ ගල්කිස්ස කොට්ඨාසයේ රථවාහන ඒකකය මගින්.

    Last modified on ඉරිදා, 28 ජූනි 2020 20:20

    Latest News