ලෝක මුස්ලිම් ලීගයෙන් මුදල් දුන් කතාව අසත්‍යක් (වීඩියෝ)

ජූනි 28, 2020
  • “ලෝක මුස්ලිම් ලීගය” නමැති සංවිධානය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 5ක් ලබාදුන් බවට පැතිරයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය පවසයි.

    කරුණු 7ක් සම්පූර්ණ වී නොමැති හෙයින්, මුදල් ලබා නොදුන් බව, මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    ලෝක මුස්ලිම් ලීගය පසුගිය වසරේ ජුනි 30 වැනිදා ශ්‍රී ලංකාවේ දී පවත්වන ලද සමුළුවකදී පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් ආධාර වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇති බව හා ඒවා එම ජනතාවට ලබා නොදුන් බවට අවස්ථා ගණනාවකදී විවිධ පිරිස් ප්‍රකාශ කර තිබිණ.

    එම උත්සවයට හිටපු ජනාධිපතිවරයා සහභාගි වූයේ ප්‍රධාන ආරාධිතයා ලෙස. මුදල් පිළිබඳ මතභේදාත්මක කරුණු ඉදිරිපත් වීමත් සමඟ සමුළුව සංවිධාන කළ එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා, ලෝක මුස්ලිම් සංවිධානයෙන් මේ පිළිබඳ විමසීමක් කර තිබේ.

    ලෝක මුස්ලිම් සංව්ධානයේ මහලේකම් ආචාර්ය ෂෙයික් මොහද් බින් අබ්දුල් කරීම්, ඊට පිළිතුරු ලිපියක් එවා ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පවසයි. එහි දැක්වෙන්නේ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව, ඒ අයගේ ආගම්, තුවාල ලැබූවන්ගේ නාම ලේඛණයක්, හානියට පත් දේපළවල වටිනාකම හා ජනාධිපති හෝ අගමැතිගේ පුණ්‍යාධාර ගිණුම් සඳහන් කර නැති නිසා අදාළ මුදල් ශ්‍රී ලංකාවට ලබානොදුන් බවයි. මෙම මුදල් පිළිබඳව ඉදිරියේ දී ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බව ද එම ලිපියේ දක්වා තිබේ.

    Last modified on ඉරිදා, 28 ජූනි 2020 20:27

    Latest News