මාලිගාවත්ත වෙඩි තැබීමේ තවත් සැකකරුවෙක් අල්ලයි

ජූනි 03, 2020

    මාලිගාවත්ත, ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ දී සිදුවු වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් ඊයේ (02) රාත්‍රීයේ දී මාලිගාවත්ත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේ දී අපරාධය සඳහා ආධාර අනුබල දීම හා ක්‍රමන්ත්‍රණය කිරීමේ ‍චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 38 ක් වු ජුම්මා මස්ජිත්පාර, මාලිගාවත්ත, කොළඹ 10 යන ලිපිනයේ පදිංචිකරුවෙකි. සැකකරු අද(03) අළුත් කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු ජුනි 01 රාත්‍රී 7.50 ට පමණ කොටහේන පොලිස් වසමේ සුපිරි වෙලඳ සැලක් අසල දී රාජගිරිය ‍විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙරට නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර තිබේ. සැකකරු වයස අවුරුදු 31 ක් වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැල්ලම්පිටිය හා මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 31 ක් වන කොළොන්නාව හා මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    එක් සැකකරුවෙක් එම අවස්ථාවේ දී තුවාල ලබා සිට ඇති බැවින් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ අළුත් කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය මැයි මස 30 වන දා සවස 5.00 ට පමණ මාලිගාවත්ත පොලිස් වසමේ ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ දී වෙඩි තැබීමක් හේතුවෙන් එහි පදිංදි වයස අවුරුදු 35 ක් වු පුද්ගලයෙක් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය විසින් එක් සැකකරුවෙක් මැයි 31 වන දින අත්අඩංගුවට ගත් අතර එම පුද්ගලයා ඊයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ජූනි 7 වන දා දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

    Last modified on බදාදා, 03 ජූනි 2020 09:27

    Latest News