විදේශ රැකියා නියුක්තිකයන් සඳහා වන්දි

ජූනි 02, 2020

    විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී හදිසි අනතුරුවලට ලක්වූ ශ්‍රමිකයින් සඳහා රුපියල් පහලොස් ලක්ෂයකට ආසන්න වන්දි මුදලක් 2020.06.01 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රදානය කළේය.

    විවිධ හේතුන් නිසා කාර්යාංශය මගින් නොමිලේ ලබාදෙන රක්ෂණ වන්දි ලබාගැනීමට නොහැකිවූ ශ්‍රමිකයින් හයදෙනෙකු වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධක අරමුදල හා සහන රක්ෂණය මගින් මෙම වන්දි ලබාදී තිබුණි.

    මෙහිදී ලබාදුන් වන්දි මුදල් අතරට වයස අවුරුදු 65ට වැඩි ශ්‍රමිකයෙකු වෙනුවෙන් රු.300,000.00 ක මුදලක්, ලියාපදිංචි වලංගු කාලය ඉක්මවා මරණයට පත්වී ඇති ශ්‍රමිකයකුගේ යැපෙන්නන් සඳහා රු.300,000.00 ක මුදලක්, ලියාපදිංචි කාලය තුළ මිය ගිය මුත් රක්ෂණ වන්දි සඳහා ඉදිරිපත් නොවී ඇති ශ්‍රමිකයකු වෙනුවෙන් රු.300,000.00 ක මුදලක්, ලියාපදිංචි වලංගු කාලය ඉක්මවා මරණයට පත් වී ඇති ශ්‍රමිකයකුගේ යැපෙන්නන් වෙනුවෙන් 300,000.00 ක මුදලක්, මෙරටට පැමිණ ප්‍රතිකාර වියදම් සඳහා රක්ෂණ වන්දි ප්‍රතිලාභ ලැබී ඇති අතර මෙම ශ්‍රමිකයාගේ යැපෙන්නන් සදහා රු.300,000.00 ක මුදලක් හා සේවයේ නිරතව සිටියදී ඇති වූ රෝගී තත්වය හේතුවෙන් රු.22,603.00 ක මුදලක් ලබාදෙන ලදී.

    මේ අවස්ථාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත, සාමාන්‍යාධිකාරී ඩබ්.එම්.වි. වන්සේකර, අතිරේක සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී. සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුබසාධන) ඩබ්. ලීලාරත්න, සුභසාධන අංශයේ කළමණාකරු අනුර කුමාර යන මහත්ම මහත්මීන්ද එක්වූහ.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 12:55

    Latest News