අරන්තලාවේ භික්ෂු ඝාතනයට අදට වසර 33ක්

ජූනි 02, 2020

    අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුවී අද දිනට (02) වසර 33ක් සපිරේ. මේ මහා භික්ෂු සංහාරය අප හැඳින්විය යුත්තේ රාජධානී යුගවල ලංකාව යටත්කර ගැනීමට ආ පරසතුරන් විසින් සිදුකළ මහා භික්ෂූ සංහාරවලින් පසු සිදුවූ දරුණුතම සංහාරය ලෙසයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනය...

    මෙම භික්ෂූ සංහාරය සිදුවන විට ශ්‍රී ලංකාව මුළුමනින්ම පැවතියේ අරාජික තත්වයකයි. පුරාණ දිගාමඩුල්ල රාජධානිය හැටියට සැළකෙන අම්පාර ප්‍රදේශයේ සිංහල ගම්මානවලට ප්‍රහාර එල්ල කරමින් දරුවන්, කාන්තාවන් අමු අමුවේ මරා දමමින් ඔවුන් එම ප්‍රදේශවලින් පළවාහැරෙමින් තිබිණ. ලාහුගල,උහන,දමන,දෙහිඅත්තකණ්ඩිය,පදියතලාව,මහඔය ආදී ප්‍රදේශවල ගම්මානවල ජනතාව නිරන්තරයෙන් කපාකොටා මරාදැමෙමින් තිබිණ. බුදුදහම ආරක්ෂා කිරීමට හා එය පෝෂණය කිරීමට ආණ්ඩුව ව්‍යවස්ථානුකුලව බැද සිටිය ද මහා සංඝරත්නයටවත් ආගමික සිද්ධස්ථානවලටත් එද කිසිදු ආරක්ෂාවක් හෝ පෝෂණයක් ලැබුණේ නැත. එබඳු තත්වයක් යටතේ හෑගොඩ ඉන්ද්‍රසාර ස්වාමීන්වහන්සේ අම්පාර ප්‍රදේශයට වැඩමකර අම්පාර මහාවාපී පිරිවෙන,විද්‍යානන්ද පිරිවෙන ඇතුළු පිරිවෙන් ආශියක් ගොඩනංවා බිඳවැටෙමින් තිබූ බෞද්ධ උරුමය ආරක්ෂා කරගැනීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළ සේක. අරන්තලාව ආදී ගම්මානවල සිදුවූ මනුෂ්‍ය ඝාතන හෙලාදකිමින් කටයුතු කළ උන්වහන්සේ නිහඩ කිරීමට එදා කොටි ත්‍රස්තවාදීන් තීරණයක් ගත්තේය. තම ශිෂ්‍යවරයන්වහන්සේලා 41 නමක් රැගෙන වන්දනාගමනක යෙදී සිටිය දී ම්ලේච්ජ ප්‍රහාරයක් එල්ලකොට භික්ෂූන්වහන්සේලා 31 නමක් එතැනම මරාදැමූහ. අවසාන මොහොතේ ද හෑගොඩ ඉන්ද්‍රසාර ස්වාමීන්වහන්සේ ඉල්ලා සිට ඇත්තේ තමන් ඝාතනය කරන ලෙසත් තම ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලාට හානියක් නොකරන ලෙසත්ය.

    එබඳු ම්ලේච්ජ ප්‍රහාරයක් සිදුවුව ද එකල පැවති රජය භික්ෂූන්වහන්සේලාගේ ශාසනය සහ විහාරස්ථානවල ආරක්ෂාවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැ. 2005 වයසරේ අප විසින් ගෞරවනීය සාමයක් ගෙන ඒම සදහා මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන තුරු කිසිවෙකුට ජීවිතය පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැත. 2009 වන විට අප රුදුරු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමා බෞද්ධ, හින්දු, මුස්ලිම්,කතෝලික සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි අභය භූමියක් බවට ශ්‍රී ලංකාව පත් කළෙමු. එහෙත් 2015න් පසු අඳුරු දසාවක් බුද්ධශාසනයට එළැඹුණු බව අප කවුරුත් දනිමු. ත්‍රස්තවාදීන් සිදුකළ කායික ඝාතනයන්ට නොදෙවෙනි ආකාරයට භික්ෂූන්වහන්සේලා මානසික ඝාතනයට නතු කෙරිණ. ඒ අනූව, භික්ෂූන්වහන්සේලා හිරේ විලංගුවේ යවමින් කටයුතු කළා පමණක් නොව භික්ෂුවකගේ දේහයක් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වැළලීමට ඇති අයිතිය ද අහෝසි කෙරිණ.

    මහා සංඝරත්නය අනන්ත නින්දා විඳිමින් පැවති තත්වය වෙනස්කර ගැනීමේ ප්‍රාර්ථනයෙන් යුතුව නව නායකයෙක් රට වෙත ලබාදීමට කටයුතු කර ඇත. මේ වන විටත් ජනාධිපතිතුමා විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය ආරක්ෂා කරගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධඛ බලකායක් පිහිටුවා අතීතයේසේම වර්තමානයේ සිදුවන්නා වූ අගතීන් තුරන් කිරීම සඳහා අවධානය යොමුකර තිබේ. මේ සියල්ල උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දිවි පිදූ හෑගොඩ ඉන්ද්‍රසාර හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයට උපහාර පිණිස වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 11:56

    Latest News