නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රාජකාරි භාර ගනී

ජූනි 02, 2020

    යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ප්‍රථමයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ඊයේ (01) හමුවිය.

    යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානිතුමන් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර පැවැති සුහද හමුවේදී එතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුබපැතුම් එක් කළේය. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මීට දින කිහිපයකට ප්‍රථම යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබීනි.

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගින් සුහද පිළිසදරක නිරත වූ නව මාණ්ඩලික ප්‍රධානී විසින් යුද්ධ හමුදාවේ සියළු නිලයන්ගේ සුභසාධන කටයුතු තවදුරටත් ඉහළනංවමින් අනාගත අභියෝගයන්ට මුහුණදීමට හැකිවන පරිදි වෘත්තීය අපේක්‍ෂාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ කරණු එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

    මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබා මෙම තනතුර සඳහා පත් කිරීම සබැඳිව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත එතුමන් සිය කෘතඥතාවය මෙහිදී පළ කරනු ලැබීය. මෙම ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට ප්‍රථම මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස රාජකාරි කටයුතු සිදුකර තිබුනි.

    Latest News