මැතිවරණ පෙත්සම් සළකා බැලීම ඇරඹේ

ජූනි 01, 2020

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද පෙරවරුවේ දහ වන දිනයේත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු වෙයි.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් පිලිතුරු දේශන ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන නඩු නිමිත්ත දේශපාලන කාරණා සමග බැඳී තිබුණද තමා සම්පූර්ණයෙන්ම නීතිමය කාරණා මත පදනම්ව කරුණු දක්වන බව පැවසීය.

    මෙම නඩු ගොනු කිරීම සඳහා පෙත්සම්කරුවන්ට කිසිදු නීතිමය පදනමක් නොමැති බවට වග උත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණි.

    මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු, පිළිගත් දේශපාලන පක්ෂ හා මීට පෙර ද විවිධ අවස්ථාවන්හී මහජන නඩුකරයන් ඉදිරිපත් කළ පාර්ශව විසින් යැයි පෙන්වා දුන්නේය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහ මැතිවරණය පැවැත්වෙන දිනය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඔවුන්ට කිසිදු නීතිමය බාධාවන් නොමැති බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා තර්ක කලේය.

    පෙත්සම් සලකා බැලීම තව දුරටත් සිදු වෙනවා.

    සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 202 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

    Last modified on සදුදා, 01 ජූනි 2020 11:01

    Latest News