ගතවූ මාසයේ කොවිඩ්-19 රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම සතුටට කරුණක්; අමාත්‍ය පවිත්‍රා

මැයි 31, 2020

    ගතවූ මාසය පුරාවටම කොවිඩ්-19 රෝගීන් ප්‍රජාවතුලින් වාර්තා නොවීම රටක් වශයෙන් සතුටු විය හැකි කරුණක් බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    මේ අතර, රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගියේය.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 819 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි. අද වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 10ක්. අද දිනයේ දී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 20ක්. ඊයේ දිනය තුළ හඳුනා ගැණුනු රෝගීන්ගේ සංඛ්‍යාව 62ක්. ඔවුන් අතරින් 25 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන්. තවත් 26 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන්. කුවේට් සිට පැමිනි 08 දෙනෙකු ද ඊයේ තහවුරු වූ රෝගීන් අතරට අයත්. අනෙක් පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ මාලදිවයිනේ සිට මෙරටට පැමිනි පුද්ගලයන්ගෙන්

    කොවිඩ්-19 රෝගය වැළඳුණු බවට නාවික හමුදාව තුලින් හඳුනා ගැනුණු සමස්ත රෝගීන්ගෙන් 403 දෙනෙකුම අද වනවිට පූර්ණ සුවය ලබා තිබේ. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, 347 දෙනෙකු පමණයි. ඒ අනුව, රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාවට වඩා පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව වැඩි අගයක් ගනී.

    නාවික හමුදාව තුළින් හඳුනා ගැනුණු රෝගීන්ගේ සංඛ්‍යාව 797ක්. ප්‍රතිශතයක් ලෙස එය 48.89ක්. හඳුනා ගැනුණු සමස්ත රෝගීන්ගෙන් 524 දෙනෙකුම විදේශයන්හි සිට මෙරටට පැමිනි පුද්ගලයින්. සමස්ත රෝගීන් සමඟ ගත්විට එය 32.14%ක අගයක්. සෙසු ආසාදිතයින් 309 දෙනා දේශීයව හඳුනා ගැනුණු අයයි. එම ප්‍රතිශතය 18.95ක්.

    විදේශයන්හි සිට මෙරටට පැමිණෙන විටදීම කොවිඩ් 19 රෝගයට ගොදුරුවී සිටි බවට 502ක් හඳුනාගෙන ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. කුවේට් රාජ්‍ය යේ සිට පුද්ගලයන් 460 ක් මෙරටට පැමිණ තිබේ. ඔවුන්ගෙන් 330 දෙනෙකුම පැමිණෙන විටදීම කොවිඩ් -19 රෝගයට ගොදුරු වී සිටි බව වාර්තාවේ. කටාර් සිට මෙරටට පැමිණ ඇති සංඛ්‍යාව 270ක්. ඔවුන්ගෙන් 150 දෙනෙකුම මෙරටට පැමිණිමට පෙරම කොවිඩ්-19 රෝගයට ගොදුරුව සිටියහ.

    මේ අතර, දැනට දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට අලුයම 4.00 තෙක් බල පැවැත්වේ. හෙට සිටි ජුනි 03 වැනි බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය බල පැවැත්වෙන්නේ රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි. නැවත ජූනි 4 සහ 5 දෙදින සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. ජුනි 06 වැනි සෙනසුරාදා සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ, රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

    නියැදි සාම්පල මගින් PCR පරීක්‍ෂණ සඳහා පුද්ගලයන් යොමු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. අද කොළඹ හැව්ලොක්ටවුන් ප්‍ර දේශයේ දී 65 දෙනෙකුගේ PCR පරීක්‍ෂණ ලබාගැනීම සහ ලේ සාම්පල ලබාගැනීම සිදු කෙරිණ. ඒ කොළඹ නගර සභාව විසින්.

    හෝමාගම දියගම මොරටුව විශ්වවිද්‍යාලයේ යුද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පිරිසක් සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. එම පිරිසට 160 දෙනෙකු අයත්. ඔවුන් පසුගියදා සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ තිබේ.

    Latest News