රත්මලාන ආපන ශාලාවට වෙඩි තබද්දී‌ එහි සිටි පොලිස්‌ නිලධාරීන්‌ගේ වැඩ තහනම්

මැයි 30, 2020

    රත්මලාන සොයිසාපුර මංසන්ධියේ ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන්‌ එහි රැඳී සිටි පොලිස්‌ නිලධාරීන්‌ තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

    පොලිස්‌ මුලස්ථානය පවසන්නේ, ඔවුන්‌ ගල්කිස්ස පොලිසියට අනුයුක්තව රාජකාරී කළ බවයි. ඉකුත්‌ 19 වැනිදා ඇඳිරිනිතිය ක්‍රියාත්මකව පැවති අවස්ථාවේ කඩු ඇතුළු තියුණු ආයුධ

    සහිතව මෝටර්‌ රථයකින්‌ පැමිණි කිහිපදෙනෙකු එම අවන්හලේ දේපලවලට හානි කර සේවකයෙකුට ද තවාල සිදු කර පලා ගොස්‌ තිබුණා. සිද්ධියෙන්‌ පසු දුරකථනයෙන්‌ එල්ල වූ තර්ජන නිසා ආපනශාලාවේ හිමිකරු පොලිසියට පැමිණිලි කර නොමැති බවයි පසුව හෙළි වුණේ. ඩුබායි රාජ්‍යයේ සිට එම්‌ දුරකථන ඇමතුම්‌ ලැබී ඇති බවට සැක කෙරෙනවා. එමගින්‌ ආපනශාලා හිමිකරුගෙන්‌ මුදල්‌ ඉල්ලා තර්ජන කර තිබෙනවා. දිගින්‌ දිගටම මරණ තර්ජන එල්ල කිරීම්‌ හේතුවෙන්‌ හිමිකරු ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත්‌ කළා.

    ආපනශාලාවට හානි කිරීම සම්බන්ධයෙන්‌ ඉකුත්‌ 26 වැනිදා තිදෙනෙකු අත්‌අඩංගුවට ගැණුනා. සැකකරුවෙකුගෙන්‌ හෙලි වු තොරතුරු අනුව, අඟුලාන දේශයේ වෙරළ තීරයේ සඟවා තිබූ අත්බෝම්බයක්‌ හා තියුණු ආයුධ කිහිපයක්‌ සොයාගත්‌ බවයි, පොලිසිය පවසන්නේ. ආපනශාලාවට පහරදීමේ කොන්ත්‍රත්තුව හා අත්‌බෝම්බය ඩුබායි හි රැඳී සිටින පුද්ගලයෙකුගෙන්‌ ලැබී ඇති බව සැකකරුවෙකු පොලිසියට පවසා තිබෙනවා.

    ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඉකුත් 28 වැනිදා මධ්‍යම රාත්‍රී 12.20ට පමණ මෝටර් රථයකින් පැමිණි තවත් පිරිසක් ගිනිඅවි යොදාගෙන ආපනශාලාවට වෙඩි තබා තිබුණා. එම අවස්ථාවේ එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තිදෙනෙකු සිටින අයුරු අවේක්ෂණ කැමරාවලින් ද තහවුරු වුණා. වෙඩි තැබීමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ක්‍රියා කරළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. මෙම සංවිධානාත්මක අපරාධකරුවන්‌ අත්‌අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්‌ යොදවා ඇතැයි, පොලිස්‌ මුලස්ථානය ප්‍රකාශ කළා.

    Latest News