4කගේ මරණීය දණ්ඩනයට එරෙහි තහනම් නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ

මැයි 29, 2020

    මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් වසරේ ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගයක් ඔක්තෝබර් මස 15 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    හිටපු ජනාධිපතිවරයාගේ එම තීරණයට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් කිහිප දෙනෙකු ඇතුළු පාර්ශව 12 ක් විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු කළ ඉල්ලීමක් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම පෙත්සම් සලකා බැලීම ඔක්තෝම්බර් මස 14 වන දා සිදු කිරීමට තීන්දු කළා.

    ඉන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මත් ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් සිවු දෙනකුට මරණීය දණ්ඩනයක්‍රියාත්මක කිරීම සඳහා ගෙන තිබූ තීරණය වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන තහනම් නියෝගය ඔක්තෝම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත්ත වසරේ ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය දා පැවති උත්සවයකදී අදහස් දැක් වූ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් කරන බවට ප්‍රකාශයක් සිදුකර තිබූ බවයි.

    මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් අතුරින් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් හතර දෙනෙකු පමණක් තෝරාගෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි පෙත්සම්කරුවන් කියා සිටින්නේ.

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා විත්තිකරුවන් හතර දෙනෙකු තෝරාගැනීමේදී ජනාධිපති වරයා විසින් විනිවිදභාවයකින් සහ පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති වලට පටහැනි බව ද සඳහන් කර තිබෙනවා.

    ඒ අනුව තෝරා ගත් විත්තිකරුවන් හතර දෙනෙකුට පමණක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News