අධිකරණයට අපහාස කළේ යැයි රංජන්ට එරෙහි පැමිණිල්ල කල් යයි

මැයි 29, 2020

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල කල් යයි.

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල වාචික දේශන ඉදිරිපත් කිරීම සඳහා ජුලි මස 6 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද එල්. ටී. බී. දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ පැමිණිල්ලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම සඳහා එය ජුලි මස 06 වන දා සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන බවයි.

    එහිදී විනිසුරු මඩුල්ල වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාගේ පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙම විනිසුරු මඩුල්ලට ඇතුලත් වීම සම්බන්ධයෙන් වගඋත්තරකරුගේ විරෝධයක් තිබේ නම් ඒ පිළිබඳව අද දින සිට සති දෙකක් ඇතුළත මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසයි.

    මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර රංජන් රාමනායක මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුළට සේවාදායකයින් ඇතුලත් කර නොගන්නා ලෙසට ලැබී ඇති උපදෙස් මත ඔහු අද දින අධිකරණයට නොපැමිණි බවයි.

    පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන අය විසින් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් හිටපු ඇමැති රන්ජන් රාමනායකට එරෙහිව මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

    එම චෝදනා පත්‍රයේ තුළින් සඳහන් කර තිබෙන්නේ 2018 වසරේ අගෝස්තු මස 21 ක් වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකින් පසුව පිටතට පැමිණි රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයා ජනමාධ්‍යවලට ප්‍රකාශයක් සිදු කරමින් මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී තිබූ බවයි.

    මේ තුළින් රන්ජන් රාමනායක හිටපු අමාත්‍ය වරයා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ හෙලීමට ක්‍රියා කර ඇතැයි ද අදාළ චෝදනා වලින් සඳහන් කර ඇත.

    ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කොට සුදුසු දඬුවම් පමුණුවන ලෙස අදාල පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

    මෙම පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේ.

    Latest News