ජනපති විසුරූ පාර්ලිමේන්තුව යළි කැදවීමට අධිකරණයට බලයක් නෑ..ගාමිණී මාරපන

මැයි 28, 2020

    ජනාධිපතිවරයා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව, යළි කැදවන ලෙස නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කලේය.

    ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් 8 වැනි දිනටත් සලකාබැලීමට අද කැදවූ අවස්ථාවේදී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ,සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් ඉදිරිපත් කළ පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනක් ඇතුළත මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බව සඳහන් කිසිඳු නීතිමය ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති බවයි.


    එබැවින්, පෙත්සම්වල කිසිඳු නීතිමය පදනමක් නොමැති හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මේ අතර, තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කුෂාන් අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ, කොරෝනා වසංගතය හමුවේ දේශපාලන වාසියක් අත්කර ගැනීමේ අරමුණින් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි.

    පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මාස 3කට වඩා වැඩි කාලයක් මහ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලය පවරා ඇතැයි, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. ඒ අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ සුදන්ත ලියනගේ මහතා වෙනුවෙන් පෙනී සිටිමින්. පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්විය යුතු බවට පෙත්සම්කාර පාර්ශවය මතුකරන තර්කය පදනම් විරහිත බව ද ඔහු කියා සිටියේය.

    අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන මහතා කියා සිටියේ, 2019 වසරේ සම්මත කළ විසර්ජන පනත යටතේ ඉකුත් මස 30 වැනිදා දක්වා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීමට රජයට බලය පැවරී තිබූ බවයි.

    එවැනි නීතිමය ප්‍රතිපාදන පවතිද්දි ණය ලබා ගැනීමේ කටයුතු ඉටුකර ගැනීම සදහා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැදවීමේ අවශ්‍යතාවක් ජනාධිපතිවරයාට මතු නොවූ බව ජනාධිපති නීතීඥ ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය. මේ පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම හෙට දිනය තෙක් කල් තැබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මැයි 2020 19:15

    Latest News