පාස්කු ප්‍රහාරය ගැන තවත් වැදගත් තොරතුරු

මැයි 23, 2020

    ෂැංග්‍රිලා හෝටලයට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් ඊට දින දෙකකට පෙර ද එම හෝටලයට පැමිණ පෙර සූදානමක් සිදුකර ඇතැයි අද අනාවරණය විය.

    ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ෂැංග්‍රිලා හෝටලයේ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජේ.එම්. මහින්ද ජයසුන්දර මහතා සාක්‍ෂි ලබාදෙමින් මේ බව සඳහන් කළේය.

    කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ, තමන් ප්‍රහාරය එල්ල වූ දින ජනමාධ්‍ය මගින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් වූ බවයි. ඒ වනවිටත් තමන් සේවා නිවාඩු ලබාගෙන කුරුණෑගල ප්‍ර දේශයේ රැඳී සිටි බවත්, ප්‍රහාර සිදුවූ දිනයේ රාත්‍රී 9.30ට පමණ අපරාධ ස්ථානය වන ෂැංග්‍රිලා හෝටලයට තමන් වාර්තා කළ බවත්, සාක්‍ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය. එහිදී කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පසුගිය වසරේ අප්‍රේල් 17 වැනිදා ෂැංග්‍රිලා හෝටලයේ කාමරයක් වෙන්කර ගැනීමට මොහොමඩ් හම්ෂාඩ් නමින් පුද්ගලයෙකු පැමිණ ඇති බවයි.

    කොසේ වෙතත් ඔහු එදින සඳහන් කර ඇති නම ව්‍යාජ නමක් වන අතර, එලෙස පැමිණ ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නමැති පුද්ගලයා බව පසුව අනාවරණය වූ බව සාක්‍ෂිකරු සඳහන් කළේය. ඒ අනුව දිගින් දිගටම කළ විමර්ශනවලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් නමැති පුද්ගලයින් දෙදෙනා පාස්කු ඉරුදිනට දින දෙකකට පෙර එනම් පසුගිය වසරේ අප්‍රේල් මස 19 වැනිදා ෂැංග්‍රිලා හෝටලයට පැමිණ ඇති බවයි.

    එදින පෙරවරු 7.29ට පමණ ෂැංග්‍රිලා හෝටලයේ ටේබල් වන් ආපන ශාලාවට බෝම්බකරුවන් දෙදෙනා ඇතුල් වී ඇති අතර ඔවුන් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර සූදානමක් සඳහා එදින පැමිණ ඇති බවට විමර්ශනවලදී අනාවරණය විය. අනතුරුව, ෂැංග්‍රිලා හෝටලයෙන් පිටව යන බෝම්බකරුවන් දෙදෙනා කොල්ලුපිටියේ පිහිටි ලකී ප්ලාසා නම් මහල් නිවාස සහ සාප්පු සංකීර්ණවලින් සමන්විත ගොඩනැගිල්ලකට ඇතුල් වී ඇති බව අනාවරණය කරගත් බව සාක්‍ෂිකරු සඳහන් කළේය. ඒ අනුව එම ගොඩනැගිල්ලේ පස්වන මහලේ අංක 70න් 2/5 දරණ නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්‍ෂාවට ලක්ව තිබේ.

    එහිදී විශේෂ කාර්ය බලකාය විසින් නිවස විවෘත කිරීමට සහය ලබාදී ඇති අතර එහි තිබී පර්යේෂණ ද්‍රව්‍ය රාශියක් සොයාගත් බව සඳහන් කළේය. ඒවා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත මේ වනවිටත් පරීක්‍ෂණ සඳහා යොමුකර තිබේ. එම නිවසේ දී සටහන් කර ගැණුනු ඇඟිලි සලකුණු අනුව සහරාන් හෂීම්ගේ දියණිය එම නිවසේ රැඳී සිටි බවට හඳුනාගත් බව සාක්‍ෂිකරු සඳහන් කළේය. එමෙන්ම එම නිවාස සංකීර්ණයේ මුරකරුගෙන් සටහන් කරගත් ප්‍රකාශයකදී ඔහු සඳහන් කර ඇත්තේ සහරාන් හෂීම් ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණ සුදු පැහැති වෑන් රථය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවයි. පසුගිය වසරේ අප්‍රේල් 22 වැනිදා කොච්චිකඩේ දේවස්ථානය අසලදී පුපුරුවා හරිනු ලැබුවේ අදාළ වෑන් රථය බව පසුව කළ විමර්ශනවලදී අනාවරණ වූ බව ද සාක්‍ෂිකරු කොමිසමට සඳහන් කළේය.

    ප්‍රහාරය සඳහා සහරාන් හෂීම් සහ මොහොමඩ් ඒබ්‍රහිම් ඉල්හාම් යන සැකකරුවන් දෙදෙනා පසුගිය වසරේ අප්‍රේල් 20 වැනිදා පස්වරු 7.56ට පමණ ෂැංග්‍රිලා හෝටලයට කුලී රථයකින් පැමිණ ඇති බව සාක්‍ෂිකරු සඳහන් කලේය. අදාළ කුලී රථය පානදුර පරත්ත පාර සිට පැමිණ ඇති බව වැඩිදුරටත් සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. එහිදී බෝම්බකරුවන් දෙදෙනා විශාල ගමන්මලු රැගෙන ආ බවත් ඒවායේ පුපුරණ ද්‍රව්‍ය හෝටලය වෙත රැගෙනවිත් තිබූ බව පසුව හඳුනාගත් බව සාක්‍ෂිකරු කොමිසමට සඳහන් කළේය. 20 වැනිදා රාත්‍රීයේ ඊබ්‍රහිම් ඉල්හාම් පමණක් ෂැංග්‍රිලා හෝටලයෙන් පිටතට පැමිණ ඇති අතර ඔහු ගල්කිස්ස ප්‍ර දේශයේ පිහිටි ස්පාන් ටවර් නම් නිවාස සංකීර්ණය දක්වා පැමිණ ඇති බව හඳුනාගත් බව සාක්‍ෂිකරු සඳහන් කළේය.

    ඒ අනුව එම නිවාස සංකීර්ණයෙ ්කළ යොමු විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මස 12 වැනිදා සිට 21 දක්වා සැකකරුවන් විසින් අවස්ථා දෙකකදී මෙම නිවාස මාස දෙකක් කුලී පදනම මත ලබාගෙන ඇති බවයි. එම ගනුදෙනු සිදුකර ඇත්තේ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ එම්.ඒ.එම්.මුබාරක් නමැත්තා විසින් බව අදාල බිල්පත් පරීක්‍ෂා කිරීමේ දී අනාවරණය කරගෙන තිබේ. 20 වැනිදා රාත්‍රි ගල්කිස්ස පිහිටි එම නිවාස සංකීර්ණයට පැමිණි ඊබ්‍රහිම් ඉල්හාම් නමැත්තා ඉන් අනතුරුව දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ පිහිටි නිවසකට ද පැමිණ ඇතැයි, පරීක්‍ෂණවලදී අනාවරණ වූ බව සාක්‍ෂිකරු සඳහන් කලේය.

    එතැන් සිට යළිත් කොල්ලුපිටිය ප්‍ර දේශයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලකින් ආහාර මිලදී ගෙන, 21 වැනිදා අලුයම 1.46ට ෂැංග්‍රිලා හෝටලයට යළිත් පැමිණ ඇතැයි, පරීක්‍ෂණවලදී අනාවරණය කරගත් බව සාක්‍ෂිකරු සඳහන් කළේය. ඒ අනුව, ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වැනිදා එනම් පාස්කු ඉරිදා පෙරවරු 8.08ට පමණ ඊබ්‍රහිම් ඉල්හාම් පමණක් ඔවුන් රැඳී සිටි කාමරයෙන් පිටතට පැමිණ තුන්වන මහලේ පිහිටි ටේබල් වන් අවන්හලට සහ දෙවන මහලේ පිහිටි විදුලි පඩිපෙළ සහ විදුලි සෝපානවල රැඳී සිට ඊබ්‍රහිම් ඉල්හාම් නැමැත්තා යළිත් කාමරය වෙත පිටත්ව යන ආකාරය ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබූ බව සාක්‍ෂිකරු සඳහන් කළේය. නැවත පෙරවරු 8.50ට පමණ සහරාන් හෂිම් සහ ඊබ්‍රහිම් ඉල්හාම් එම ස්ථානයෙන් පිටව යන ආකාරය ද ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබූ බව සාක්‍ෂිකරු සඳහන් කළේය. ඒ අනුව, ටේබල් වන් ආපන ශාලාවේ දී සහරාන් හෂීම් පෙරවරු 8.54ට පමණ පළමු පිපුරුම සිදුකරගත් ආකාරය එහි පටිගත වී තිබූ බව සාක්‍ෂිකරු සඳහන් කළේය.

    ඒ වනවිටත් බොහෝ පිරිසක් එම ස්ථානයේ රැඳී සිට තිබූ අතර ජිවිත ගලවාගත් තවත් පිරිසක් දෙවන මහලේ පිහිටි විදුලි සෝපාන අසලට දිව යන ආකාරය තවත් කැමරාවක සටහන්ව තිබූ බව සාක්‍ෂිකරු සඳහන් කළේය. එහිදී ඊබ්‍රහිම් ඉල්හාම් නමැත්තා විදුලි පඩිපෙළ උපයෝගි කරගනිමින් අදාල පිරිස රැඳී සිටි ස්ථානයට පැමිණ පෙරවරු 8.55ට දෙවැනි බෝම්බය ද පුපුරා ගන්නා ආකාරය ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබූ බව සාක්‍ෂිකරු සඳහන් කළේය.

    ඒ අනුව ෂැංග්‍රිලා හෝටලයේදී සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් ඇති බව මේ වනවිටත් තහවුරු කරගෙන ඇති බව සාක්‍ෂිකරු සඳහන් කළේය. ඊට විදෙස් ජාතිකයන් 22 දෙනෙකු සහ දේශීය සංචාරකයන් 13 දෙනෙකු ඇතුලත් අතර ප්‍රහාරයෙන් පරීක්‍ෂකවරයා වෙත වැඩිදුර වාර්තා ලබාගැනීම සඳහා විවිධ ස්ථානවලින් ලබාගත් සාම්පල යොමුකර ඇති අතර, ඒවායේ පරීක්‍ෂණ වාර්තා ලැබෙන තෙක් තවදුරටත් පරීක්‍ෂණ සිදු කරමින් පවතින බව සාක්‍ෂිකරු වැඩිදුරටත් කොමිසම හමුවේ සඳහන් කළේය.

    Latest News