කොරෝනා වසංගත හමුවේ වුව ද, සිය නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව - ලංකා සීනි සමාගම

මැයි 23, 2020

    කොරෝනා වසංගත තත්වය හමුවේ වුව ද, සිය නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කෙරුණු බව, ලංකා සීනි සමාගම පවසයි.

    මෙරට සීනි නිෂ්පාදනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ එම සමාගමයි.

    ලංකා සීනි සමාගමට අයත් කර්මාන්ත ශාලා පැල්වත්ත හා සෙවණගල ප්‍රදේශවල පිහිටා තිබේ. සමාගම, 1986 වසරේ දී ආරම්භ කෙරිණ. 2003 වසරේ දී එවකට පැවති ආණ්ඩුව ලංකා සීනි සමාගම පෞද්ගලිකරණය කළේය. එම කාලසීමාවේ දී නිෂ්පාදන ධාරිතාව පහළ ගොස් සමාගම දුර්වල විය. මේ තත්වය සලකා බලා 2011 වසරේ දී සමාගම යළි රජයට පවරා ගනු ලැබීය.

    2015 වසර වනවිට සමාගම ලාභ උපයන තත්වයට පත්වූ අතර, 2011 වසරේදී දේශීය සීනි අවශ්‍යතාවෙන් 4%කට වැඩි ප්‍රමාණයක් මෙහි නිෂ්පාදනය කෙරිණ. 2015 වසර වනවිට දේශීය අවශ්‍යතාවයෙන් ලංකා සීනි සමාගම නිෂ්පාදනය කළ ප්‍රමාණය 8%ක්.

    අක්කර 21,000ක් පුරා විසිරුණු උක් වගා බිමක් පැල්වත්ත කර්මාන්ත ශාලාව සතුයි. සේවකයින් සංඛ්‍යාව 7,000ක්. වත්මන් පාලනාධිකාරිය විසින් මේ වසරේ දී සේවකයින් 2,000කට ආසන් සංඛ්‍යාවකට ස්ථිර පත්වීම් ලබාදී තිබේ.

    සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 100ක ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට සමාගම පියවර ගත්තේය. මීට පෙර සීනි කිලෝවක් අලෙවි වූයේ රුපියල් 65කටයි. රුපියල් 290කට අලෙවි වූ මධ්‍යසාර ස්ප්‍රීතු ලීටරයක් වර්තමානයේ රුපියල් 550කට අලෙවි කෙරේ. නව වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වය ද ලැබී තිබේ.

    ගොවීන්ගෙන් ලබාගන්නා උක් ටොන් එකක් සඳහා කලින් ගෙවනු ලැබුවේ, රුපියල් 5,000ක මුදලක්. එය රුපියල් 500කින් වැඩි කිරීමට නව පාලනාධිකාරිය පියවර ගත්තේය.

    සේවක ප්‍රසාද දීමනා ලබාදීමට ද පියවර ගැණින. පොහොර ලබාදීම ද කඩිනම් කෙරිණ.

    මොනරාගල දිස්ත්‍රික්කයේ පවතින අලි-මිනිස් ගැටුම පැල්වත්ත ප්‍රදේශයට ද බලපා තිබේ. වගාවට හා ගම්මානවලට සිදුවන හානිය අවම කරගැනීමට අනෙකුත් රාජ්‍ය ආයතන හා එක්ව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

    අලුතින් ඉඩම් අක්කර 10,000ක උක් වගා කිරිමට නියමිතයි. එමඟින් දේශීය සිනී අවශ්‍යතාවයෙන් 12%ක් සපුරාලීම සමාගමේ අපේක්‍ෂාවයි.

    Latest News