සහල් තොග වෙළෙඳ පොළට

මැයි 23, 2020

    නාඩු සහ සම්බා සහල් තොග රැස් කරගෙන සිටින සහල් මෝල් හිමියන් තම සහල් තොග වෙළෙඳපොළට මුදා හැරිය යුතු බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසයි.

    අනවශ්‍ය පරිදි වී තොග රැස්කර ඇත්නම් ඒවා සහල් කොට වෙළෙඳපොළට නිකුත් කරන ලෙස එම අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා මහා පරිමාන සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් පරීක්‍ෂා කිරිම අද (23) සිදු කෙරිණ. මහා පරිමාණ වී මෝල් හිමියන් තොග රැස්කර ඇති වී ගබඩා පරීක්‍ෂා කිරිම මෙහිදී සිදු කරනු ලබයි.

    රට තුල කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව රජය පවසයි. අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්‍ෂිතතාව සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසන්නේ, වැඩපිළිවෙළ රැසක් අද සිට ක්‍රියාත්මක බවයි. රටට අවශ්‍ය වී තොග ප්‍රමාණවත් පරිදි ගබඩා කර තිබේ.

    මාස් කන්නයේ වී වගා කළ ගොවීන්ට ඉහළ අස්වැන්නක් ලැබී තිබීම හේතුවයි. මේ වනවිට රටෙහි සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ 30ක් පමණ තිබේ.

    “හෙට සහ අනිද්දා කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා සහල් ලබාදීම අඛණ්ඩව සිදු කෙරේ. අනෙකුත් ප්‍රදේශවලට ද සහල් ලබාදීම අඛණ්ඩව සිදු කෙරේ. සහල් ලබාදෙන්නේ සමූපකාර සමිති වෙතයි. එමගින් ප්‍රාදේශිකවලට ලබාදෙනවා. අඟහරුවාදා සිට සතොස වෙළෙඳ සැල්වලට ලබාදීමට කටයුතු කරන අතර, පෞද්ගලික අංශයට සහල් ලබාදීමට ද කටයුතු කරනවා“

    අනුරාධපුර දිස්ත්‍රික් සහල් මෝල් හිමියන්ගේ සංගමය ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

    Latest News