ජනතා අවශ්‍යතා වෙනුවෙන් බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන අද සිට වැඩ (වීඩියෝ)

මැයි 11, 2020
  • ජනතා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන අද වැඩ ආරම්භ කෙරිණ.

    පසුගිය මාර්තු 11 වැනි දින තාවකාලිකව අත්හිටුවනු ලැබූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද යළි ආරම්භ කෙරිණ.

    තැපැල් දෙපාර්තමේන්තුවේ සේවා ද සාමාන්‍ය පරිදි අද සිදු කෙරිණ. ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන කාලසීමාවේදී දීමනා හා වැටුප් ලබාදීම සිදු කරනු ලැබීය.

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ බෙදා හරිනු ලබන කොළඹ කොටුවේ හා පිටකොටුව පිහිටි වෙළෙඳ සැල් ද අද පෙරවරුවේ විවෘත කෙරිණ. කොළඹට නගරාශ්‍රිතව පිහිටි වෙළෙඳුන් බහුතරයක් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටියේය. ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවි කිරීම සඳහා ගොවීන් විශාල සංඛ්‍යාවක් පැමිණි බව අප වාර්තාකරු පවසයි.

    සුපිරි වෙළෙඳ සැල් ද අද විවෘත කෙරිණ. පාරිභෝගිකයන් සඳහා සෞඛ්‍යාරක්‍ෂිත පහසුකම් ද සළසා තිබේ. මීටරයක පරතරය පවත්වා ගැනීමේ ක්‍රමවේදවලට අනුව, ජනතාව ද තම අවශ්‍යතා සපුරාගනු දක්නට ලැබිණ. දිවයින පුරා පිහිටි සතොස ජාලය ද ජනතාව වෙත භාණ්ඩ අලෙවි කිරීමට පියවර ගෙන තිබිණ.

    දිවයිනේ කර්මාන්තපුර රැසක් ද අද විවෘත කෙරිණ. එහි සේවකයින් සඳහා ප්‍රවාහන හා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද සලසා තිබෙනු දක්නට ලැබිණ.

    අද පෙරවරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත ශාලා රැක ගැනීමේ සංසදය, මහ බැංකු නියෝජිතයින් හා රාජ්‍ය හා පෞද්ගලික බැංකු නිලධාරීන් අතර සාකච්ජාවක් ද පැවැත්විණ. ඒ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ජා කිරීමේ අරමුණින්.

    Last modified on සදුදා, 11 මැයි 2020 19:54

    Latest News