පොදු ප්‍රවාහන සේවා හෙට රාජකාරී හා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

මැයි 10, 2020

    හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරන අතර ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙයි.

    ඒ අනූව සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා ප්‍රවාහන සේවා භාවිතා නොකළ යුතු වේ.

    ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මින් පෙර සැලසුම් කර තිබු පරිදිම ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණි.

    ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස් රථවලින් ප්‍රවාහන සේවාවන් නොසපයන ලෙස අමාත්‍යවරයා අදාල අංශවලට උපදෙස් ලබා දි තිබේ.

    එමෙන්ම මහජනතාව මෙම අවස්ථාවේදී ප්‍රවාහන සේවා විධිමත්ව පවත්වාගෙන සඳහා තම පූර්ණ සහයෝගය පළ කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    දුම්රිය හා බස් රථ තුළින් තම රාජකාරි සඳහා ප්‍රවාහන සේවා ලබා ගන්නා සියලුම පුද්ගලික හා රාජ්‍ය අංශයේ නිලධාරින් මුඛ ආවරණ පැලඳගැනීම අනිවාර්ය වේ.

    සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි අසුන් ගැනීම මෙන්ම මාර්ගවලට කෙළ ගැසීමෙන් වැළකීම, කිවිසුම් හරින විට වැලමිට ප්‍රදේශයෙන් මුඛය ආවරණය කර ගැනීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

    බස් රථ හා දුම්රිය ආසනවල ඇති ආධාරක ස්පර්ශ කිරීමේන් වැළකීම මෙන්ම ඒවා ස්පර්ශ කළහොත් වහාම විෂබීජ නාශක යොදා දෑත් පිරිසිදු කර ගැනීම වැනි සියලු සනීපාරක්ෂක විධි අනුගමනය කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    එසේම දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කරන අතර දුම්රිය තුළ හෝ දුම්රිය මාර්ගයට කෙළ ගැසීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සැළකිය යුතුය.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 18:39

    Latest News