“කොවිඩ්-19“ සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 232ක්

මැයි 07, 2020

    කොවිඩ්-19 රෝගයෙන් සම්පූර්ණ සුවය ලබා දිනක් තුළ පිටව ගිය වැඩිම සංඛ්‍යාව අද වාර්තා විය.

    එම පිරිස 19ක්. ඒ අනුව මේ දක්වා සම්පූර්ණ සුවය ලැබූ පිරිස 232 දක්වා ඉහළ ගොස් තිබේ.

    කොවිඩ්-19 රෝගය වැළඳී, මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 563ක්. අද ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වූහ. ඉන් 06 දෙනෙකුම ආරක්‍ෂක අංශ සාමාජිකයින්. අනෙක් රෝගියා ආරක්‍ෂක අංශ සාමාජිකයෙකු සමීපව ඇසුරු කළ පුද්ගලයෙක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර, ඊයේ පමණක් සිදු කළ පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව 1,147ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුනු බවට ඊයේ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 29ක්. ඔවුන්ගෙන් 24 දෙනෙකුම ආරක්‍ෂක අංශ සාමාජිකයින් තවත් 04 දෙනෙකු ආරක්‍ෂක අංශ සාමාජිකයෙකුගේ පවුලේ අවුරුදු 07ක් වයසැති පුතෙක් සහ තවත් ආරක්‍ෂක අංශ සාමාජිකයෙකුගේ පවුලක මවක් සහ පියෙකු ද ඒ අතරවේ. හඳුනා ගැනුණු අනෙක් පුද්ගලයා පලාලි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි අයෙක්. ඔහු කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් හමුවීමත් සමඟ එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

    තාවකාලිකව වසා දමා තිබුණු පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෝමපුර හා අභයපුර යන ගම්මාන දෙක අද සිට යළි විවෘත කර තිබේ. ඉකුත් අප්‍රේල් 22 “කොවිඩ්-19 රෝගය“ වැළඳුණු පුද්ගලයෙකු එම ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ ගම්මාන දෙක හුදෙකලා කෙරිණ. ගම්මාන දෙකේ සියලුම පවුල් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණු අතර, නිරෝධායන කාලසීමාව අදින් අවසන් විය.

    ඉකුත් අප්‍රේල් 07 වැනිදායින් පසු අද වනතෙක් ගතවූ මාසයක කාලයේ දී කිසිදු කොවිඩ්-19 රෝගියෙකු පුත්තලම ප්‍රදේශයෙන් හමු වී නොමැති බව වාර්තාවේ.

    අහඹු නියැදියක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශයන්හි පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පල ලබාගෙන පරීක්‍ෂණ සඳහා යොමු කිරීම මේ දිනවල සිදු කෙරේ. අද දින දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක තෝරාගත් 60 දෙනෙකුගේ පී සී ආර් පරීක්‍ෂණ සහ රුධිර පරීක්‍ෂණ සිදු කෙරිණ. ඉදිරි දිනවලදී ද තෝරාගත් පුද්ගලයින්ගේ පී සී ආර් පරීක්‍ෂණ සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    තවත් විදේශගත සිසුන් ඇතුලු පිරිසක් රැගත් ගුවන් යානයක් අද උදේ දිවයිනට ළඟාවිය. ඒ, ඩුබායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 303 දරණ ගුවන් යානයෙන්. එම කණ්ඩායමට 197 දෙනෙකු ඇතුළත්. ඔවුන් අතර, ආරක්‍ෂක අංශ සාමාජිකයින්, සංක්‍රමණිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කිහිප දෙනෙකු ද වේ. පිරිස නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    නාගලගම්විදිය සහ තොටළඟ ප්‍ර දේශවාසීන් 101 දෙනෙකු නිරෝධායනය සඳහා පසුගියදා ගල්කන්ද යුද හමුදා මධ්‍යස්ථානයට යොමු කෙරිණ. ඒ අතර සිටි 25 දෙනෙකු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කළ බව බලධාරීන් පවසයි. ඔවුන් මත්ද්‍රව්‍ය ලෝලීන් බැවින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් පසුව ඔවුන් මාස 08ක කාලයක් පුනරුත්ථාපනය කළ යුතු බව අධිකරණය නියම කළේය.

    Latest News