ආනන්දපුරම්,ඉරුත්තිපුරම්, පොන්නගර්, පිරමන්දන් ජලයෙන් යටවෙයි - 4000ක් අවතැන්

දෙසැ 22, 2018

    අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චි, මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි.

    නව දහසකට අධික පිරිසක් අවතැන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ රාත්‍රී මිලිමීටර 365 ඉක්ම වූ ධාරානිපාත වැසි ලැබී තිබේ. එහි බලපෑමෙන් ආනන්දපුරම්, ඉරුත්තිරපුරම්, පොන්නගර්, පිරමන්දන් ආරු ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවිය. අවතැන්වූවන් බේරා ගැනීම සඳහා යුද හමුදා සහ නාවික හමුදා සහන කණ්ඩායම් රැසක් යොදවනු ලැබ සිටිති. මෙහෙයුම්වලට නාවික හමුදා යාත්‍රා රැසක් එක්කර තිබේ. යුද හමුදා සහන කණ්ඩායම් කොටුවී සිටි විශාල පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාමට සමත්වූහ.

    මේ අතර ඉරණමඩු ජලාශයේ ධාරිතාව පිටාර මට්ටම ඉක්මවා ගොස් තිබේ. එහි වාන් දොරටු සියල්ල විවෘත කර ඇත. ජලාශය වාන් දැමීම හේතුවෙන් ඒ-9 මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ. වාහන ගමනා ගමනයේ දී විමසිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි. 

    Weather px 900 18 12 22

    මුලතිව් දිස්ත්‍රික්කයේ 4,000ක් පමණ අවතැන්ව සිටිති. මාන්කුලම්, මුරුගන්ඩි, විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු හා වසන්තපුරම් යන ප්‍රදේශ ජලයෙන් යටවිය. ගමනා ගමනයට බාධා එල්ල වී ඇති අතර, බොහෝ ප්‍රදේශවල විදුලි බලය ද ඇනහිට ඇති බව අප වාර්තාකරු පවසයි. ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කෙරෙන අවතැන් ජනතාව සඳහා ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියා සිටී.

    පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුර, නැගෙනහිර, උතුරු මැද යන පළාත්වල ද පුත්තලම දිස්ත්‍රික්කයේ ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බොහෝ ප්‍රදේශවල තාවකාලික තද සුළං ද හට ගනී. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරේ, මන්නාරම සහ පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැක. දිවයිනට උතුර සහ වයඹ දෙසින් මුහුදු ප්‍රදේශයේ ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය වර්ධනය වෙමින් පවතින අතර, ඉදිරි පැය කිහිපය ඇතුලත එය සක්‍රීය වනු ඇති බව ද කාලගුණ නිවේදනයේ දැක්වේ.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Last modified on සෙනසුරාදා, 22 දෙසැම්බර් 2018 18:49

    Latest News