චීනයෙන් තවත් වෛද්‍ය ආධාර ශ්‍රී ලංකාවට

අප්‍රේ 17, 2020

    චීන රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන වෛද්‍ය ආධාර තොගයේ තවත් කොටසක් අද ලැබෙන බව, මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

    ඒවායේ වටිනාකම අමෙරිකානු ඩොලර් හය ලක්‍ෂ අනූ පන් දහසක්. මීට පෙර ද චීනය, අමෙරිකානු ඩොලර් එක් ලක්‍ෂ විසි දහසකට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට පිරිනැමිණ. මෙම ආධාර කොරෝනා වෛරස් ව්‍යාප්තියට එරෙහිව රජය ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා පිරිනැමෙන බව චීනය ප්‍රකාශ කරයි.

    දෙවැනි ආධාර තොගය චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රැගෙන ඒමට නියමිතයි. ඊට නව කොරෝනා වෛරසය පරීක්‍ෂා කෙරෙන PCR පරීක්‍ෂණ උපාංග විසි දහසක් ඇතුළත්. සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ආරක්‍ෂිත මුහුණු ආවරණ දස දහසක් සහ ශෛල්‍ය මුහුණු ආවරණ ලක්‍ෂයක් ද මේ සමඟ ලැබීමට නියමිතයි. භාවිතයෙන් පසු ඉවත් කළ හැකි ආරක්‍ෂිත ඇඳුම් දස දහසක් හා සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ඇස් ආවරණ කට්ටල දහසක් ද ආධාර තොගයට ඇතුලත්. එක් වරක් පමණක් භාවිත කෙරෙන ශෛල්‍ය අත්වැසුම් පනස් දහසක් ද මීට ඇතුලත් බව, චීන තානාපති කාර්යාලය පවසයි. මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය, ජනතාව සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය කරන කැප කිරීමට චීන රජය ගෞරවය පුද කරයි.

    චීන රජය පවසන්නේ, කොවිඩ් 19 වසංගතය මර්දනයට ශ්‍රී ලංකා රජය ගෙන ඇති සාධනීය පියවර හා සාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බවයි. සුප්‍රකට අලි බබා වෙළෙඳ ජාලයේ නිර්මාතෘ “ජැක් මා“ නමින් පවත්වාගෙන යනු ලබන පදනම විසින් PCR පරීක්‍ෂණ කට්ටල 20,000ක් මීට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය. පසුගිය සතියේ එම ආධාර ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය. එම ආධාර අලිබබා ජාලයේ මෙරට නියෝජිතයන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඊයේ පිරිනමනු ලැබීය.

    Latest News