වල්ගා තරුවකින් කිසිසේත්ම විෂබීජ පොළොවට පතිත විය නොහැක - තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා (වීඩියෝ)

අප්‍රේ 17, 2020
  • වල්ගා තරුවකින් හෝ ධූම කේතුවකින් කිසිසේත්ම විෂබීජ පොළොවට පතිත විය නොහැකි බව, තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා පවසයි.

    තමා එසේ පවසන්නේ, සිය අධ්‍යයනයන්ට අනුව බව ඔහු කියා සිටී. ලෝක ප්‍රකට හේලීගේ වල්ගා තරුව, මානව ඉතිහාස වාර්තා තුළ දැක්වෙන්නේ ක්‍රිස්තු පූර්ව 240 තරම් ඈත යුගයක සිට. සෑම වසර 76කටම වරක් එය පෘථිවියට දිස්වේ. 1910 දී මේ වල්ගා තරුව පෑයීමට පෙර එකල තාරකා විද්‍යාඥයින් ගණනය කළේ, එය පොළොව සමඟ ගැටීමෙන් විනාශයක් සිදුවිය හැකි බවයි. එහෙත් සිදුවූයේ පෘථිවිය දූම කේතුවේ වල්ගය යනුවෙන් හැඳින්වෙන දූලි ධාරාව හරහා ගමන් කිරීම පමණි. ඉන් වැඩි වශයෙන් උල්කාපාත දැක ගැනීමට ඉඩ ලැබීම හැර වෙනත් කිසිදු විශේෂත්වයක් සිදුවූයේ නැත. එම අවස්ථාවේදී ද ඇතැම් පුද්ගලයන් විවිධ අනාවැකි පළ කළේය. ඇතැමුන් අපල උපද්‍රව ගැන අනාවැකි පළ කළේය. එහෙත්, එවැනි මහා ව්‍යසන එදා හටගත්තේ නැති බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. වල්ගා තරුවක් නිර්මාණය වී ඇත්තේ, ජල, වායු හා දූවිලි අංශුවලින්. තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා පවසන්නේ එය කිලිටි හිම බෝලයක් ලෙස හැඳින්විය හැකි බවයි. සුර්යාට ළංවත්ම එහි ඇති ජල, වායු හා දූවිලි අංශු සූර්යාගේ කිරණවල උණුසුමින් ප්‍රසාරණයවී වල්ගය නිර්මාණය වන බව ඔහු පවසයි. කිසි ලෙසකින් හෝ වල්ගා තරුවකින් හෝ දූම කේතුවකින් හෝ විෂබීජයක් නිර්මාණයවීමට නොහැකි බව තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා අවධාරණය කරයි.

    Last modified on සිකුරාදා, 17 අප්‍රේල් 2020 20:06

    Latest News