කොළඹ අවට නොමිලයේ වට්ටක්කා බෙදාදීම ඇරඹේ

අප්‍රේ 16, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ විසිරී සිටින අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වට්ටක්කා බෙදා හැරීමේ කටයුතු අද (16) ආරම්භ කෙරිණ.

    කොළඹ දිස්ත්‍රික්කයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක වට්ටක්කා ටොන් 150ක් පමණ නොමිලයේ බෙදා හැරීමට නියමිතයි.

    ඒ අනූව, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ වට්ටක්කා කිලෝ 17,000 ද කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ වට්ටක්කා කිලෝ 14500 ද බෙදාහැරීම මේ වන විට සිදුවෙමින් පවතියි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි වට්ටක්කා මිලදී ගෙන ජනතාවට නොමිලේ බෙදාදීම සිදු කරන අතර, වට්ටක්කා තොග මිලදී ගැනීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන විස්සකි. ගොවියෙකුගෙන් වට්ටක්කා කිලෝ එකක් මිලදී ගනු ලබන්නේ රුපියල් 40කට වන අතර මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවි ජනතාව තුළ ප්‍රසාදයක් පවතියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 17:24

    Latest News